චීන වයිරසයට මියගිය ගණන 636 ට නගී

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වුණු නව කොරෝනා වයිරසයට බිලිවුණු ගණන 636 දක්වා ඉහළ ගියේ යැයි චීන රජය නිකුත් කළ නිවේදනයක දැක්විණි. වයිරසය ආසාදනය වූ රෝගීන් ගණන 31,161 ක් යැයි පැවැසිණි.
වයිරසය මේ වනවිට චීනයේ සෑම පළාතකටම පැතිර ගොස් අවසන්ය. එය විදේශවල ද පැතිරීමට පටන් ගෙන ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
වයිරසය පැතිරීම පාලනය කිරීමට ඇමෙරිකන් ඩොලර් 675 ක මුදලක් අවශ්‍ය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත. නව කොරෝනා වයිරසය රටවල් 25 ක් පුරා පැතිර ගොස් ඇත. චීනයෙන් පිට පළමු කොරෝනා වයිරස රෝගියා හමුවුණු බව එක්සත් රාජධානියෙන් ඊයේ (6) වාර්තා විය.
වයිරසය පාලනය කිරීමට හැකි සෑමහ පියවරක්ම ගෙන ඇති බව චීන ජනාධිපති ෂී ජින්පින් පවසා ඇත. වයිරසය පැතිරීමට ගත් පියවර සම්බන්ධයෙන්, ජනාධිපති ජින් පින් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට සියලු තොරතුරු ලබා දී ඇතැයි ද වාර්තා වේ. ඇමෙරිකන් ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයාට පවසා ඇත්තේ වයිරසයට එරෙහි සටනේදී ඇමෙරිකාව හැකි සෑම අයුරින්ම චීනයට සහාය දක්වන බවය.
මේ අතර ජපානය විසින් ටෝකියෝ යොකෝහාමා වරායේ නිරෝධායනය කරනු ලැබූ ‘ඩයමන්ඞ් ප්‍රින්සෙස්’ නමැති සැප කෲස් නෞකාවේ සිටින සංචාරකයන්ගෙන් 41 දෙනකු කොරෝනා ආසාදිතයන් යැයි තහවුරු වී ඇත. ඔවුන්ට නැවෙන් පිටවීම තහනම් කර ඇති බවත්, ජපන් වෛද්‍ය කණ්ඩායම් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බවත් වාර්තා වේ.
බීජීංහිදීය (ඒ.එෆ්.පී.)

