චීන රුසියා තර්ජනවලට මුහුණ දෙන්න නේටෝ සූදානම්



චීනයෙන් සහ රුසියාවෙන් එල්ල වන තර්ජනවලටත්, අභියෝගවලටත් මුහුණ දෙන්න තමන් සූදානම් යැයි 'නේටෝ' හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය පවසයි.

'නේටෝ' සංවිධානයේ මහ සමුළුව, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දින දෙකක් තිස්සේ පැවැත්විණි. නේටෝ සංවිධානයට ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා රටවල් සහ තුර්කිය ද ඇතුළත්ය. නේටෝ සංවිධානය බිහිවූයේ ඇමෙරිකාවේ ද ප්‍රධානත්වයෙනි. ඒ, රුසියාවෙන් එල්ල වන අභියෝග සහ තර්ජනවලට එකමුතුව ප්‍රතිචාර දැක්වීමේ අරමුණින්ය.

කෙසේ නමුත් අද වනවිට රුසියාව පමණක් නොව, චීනය ද ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට තර්ජනයක් වී ඇත.
බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර දින දෙකක් තිස්සේ පැවැත්වුණු නේටෝ සමුළුවේදී, චීනය සහ රුසියාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කෙරුණු බව විදෙස් පුවත් සේවා පවසයි.

රුසියාවෙන් එල්ල වන ඕනෑම තර්ජනයකට, අභියෝගයකට මුහුණ දීමට හැකි බව නේටෝ සාමාජික රටවල් සියල්ල එකා මෙන් තීරණය කළේ සමුළුව අවසානයේදීය.

බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ලෙස නේටෝ සමුළුවට සහභාගී වූ පළමු අවස්ථාව මෙයයි. නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොලෙන්බර්ග් සහ ඇමෙරිකන් ජනාධිපතිවරයා අතර ද සාකච්ඡාවක් පැවැත්විණි.

බයිඩන්ට පෙර ඇමෙරිකාවේ ජනාධිපතිධුරය හෙබවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ට්‍රම්ප් ඇමෙරිකාවේ අභ්‍යන්තර ගැටලුවලට මුල්තැන දුන් බැවින්, නේටෝව සමඟ සබඳතා කප්පාදු කළේය. එසේ කප්පාදුවට ලක් කර තිබුණු සබඳතා යළි ශක්තිමත් කර ගැනීමට ජෝ බයිඩන් කටයුතු කළේය.

බ්‍රසල්ස් නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS