චීන-ජපාන-කොරියන් රාජ්‍ය නායක හමුවක්



චීන ජනාධිපති ෂී ජින්පින්, ජපාන අගමැති ෂෙන්සෝ අබේ සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සහභාගී වූ විශේෂ ත්‍රෛයිපාර්ශ්වීය සමුළුවක් චීනයේ චෙංග්ඩෝ නුවරදී පැවැත්විණි.

කලාපීය ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සහ වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් පසු, රාජ්‍ය නායකයන් තිදෙනාගේ අවධානය යොමු වූයේ ඇමෙරිකා උතුරු කොරියා සබඳතා කෙරෙහිය.

ඇමෙරිකාවත් උතුරු කොරියාවත් අතර ගොඩනැගුණු යහපත් සබඳතා තවත් ශක්තිමත් කිරීමට පියවර ගත යුතු ආකාරය සම්බන්ධයෙන් නායකයන් තිදෙනා අතරේ සාකච්ඡා පැවැත්විණි. ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර යම්තාක් දුරකට යහපත් සබඳතා ශක්තිමත් වූයේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ නම්‍යශීලී ප්‍රතිපත්ති හේතුවෙනි.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් ද පවසා ඇත්තේ තමන් සාමයට කැමති බවය. කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර තැනක් බවට පත් කිරීමට නායක කිම් ජොන් උන් ප්‍රතිඥා දී තිබේ. උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවිහරණ කටයුතු ආරම්භ කර ඇත්තේ ඒ අනුවය.

කෙසේ නමුත් තමන් අපේක්ෂා කරන තරමට උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණ කටයුතු සිදුනොවන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත. මේ හේතුව නිසා ඇමෙරිකාවත් උතුරු කොරියාවත් අතර සබඳතා යළි බිඳ වැටීමේ අවදානමක් මතු වී තිබේ. චෙංග්ඩෝ නුවර පැවැති සමුළුවේදී චීන ජනාධිපති ෂී ජින්පින්, ජපාන අගමැති ෂෙන්සෝ අබේ සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් අතරේ මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.

චෙංග්ඩූහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS