චීන ජනාධිපති කිම් ජොන් උන් හමුවෙයි



චීනය සමඟ එක්වී, ලෝක සාමය වෙනුවෙන් වැඩ කරමු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ට පවසා තිබේ.

චීන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ උතුරු කොරියාවේ පියොංයැං අගනුවර සංචාරය කරමින් නායක කිම් ජොන් උන් හමුවෙමිනි.

චීන ජනාධිපති ෂී ජින් සහ නියෝජිත පිරිස උණුසුම් ලෙස පිළිගැනීමට උතුරු කොරියානු නායකයා කටයුතු කළේය. චීනය සමඟ එක්වී, ලෝක සාමය වෙනුවෙන් වැඩ කරමු යැයි චීන ජනාධිපති ෂී ජින්පින් කළ යෝජනාවට නායක කිම් ජොන් උන් එකපයින් කැමැත්ත පළ කළ බව උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය කාලය පුරා උතුරු කොරියාව නොයෙක් ආකාරයේ දිගු දුර බැලැස්ටික මිසයිල අත්හදා බැලුවේය. එම මිසයිල අත්හදා බැලීම් අසල්වැසි දකුණු කොරියාවට පමණක් නොව, ජපානයට ද තර්ජනයක් විය.

ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය එක් වී උතුරු කොරියාවට දැඩි විරෝධයක් ද පළ කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය හදිසියේ රැස්වී උතුරු කොරියාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. ඇමෙරිකාව, චීනය සහ රුසියාව ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන්ය.

උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් ආරම්භ කළේ 2017 වසරේදීය. මේ වනවිට උතුරු කොරියාව, හිතුවක්කාර අන්දමින් න්‍යෂ්ටික අත්හදා බැලීම් 7 ක් සිදු කර ඇත.

‘කොවිඩ් 19’ වසංගතයෙන් පසු චීන ජනාධිපති ෂී ජින්පින් උතුරු කොරියාවේ සංචාරයක යෙදෙන පළමු අවස්ථාව මෙයයි. උතුරු කොරියාව චීනයේ අසල්වැසියෙකි.

ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් පනවා ඇති සම්බාධක මධ්‍යයේ උතුරු කොරියාව සමීප ලෙස ගනුදෙනු පවත්වන්නේ චීනය සමඟය. රුසියාව ද උතුරු කොරියාවට මායිම් වෙයි. උතුරු කොරියාව සහ රුසියාව අතරේ සබඳතා පවතී.

පසුගිය දා ඉන්දුනීසියාවේ බාලි දූපතේ ‘ජී20’ සමුළුවට සමගාමීව, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර මුහුණට මුහුණ හමුවක් පැවැත්විණි. ඒ, දෙරට අතර පවතින නොහොඳ නෝක්කඩු අවසන් කිරීමේ අරමුණින්ය. එම සාකච්ඡා ඵලදායී විය.

එහිදී උතුරු කොරියාවේ ‘හිතුවක්කාර’ න්‍යෂ්ටික අත්හදා බැලීම් කෙරෙහි අවධානය යොමු විය. චීන ජනාධිපති ෂී ජින්පින්, උතුරු කොරියාවට ගොස් උතුරු කොරියා නායකයා හමුවූයේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙනි.

මේ අතර, තමාගේ අරමුණ උතුරු කොරියාව, ලෝකයේ න්‍යෂ්ටික බලවතා වීම යැයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඊයේ පවසා තිබේ. උතුරු කොරියානු නායකයා මෙසේ පැවැසුවේ හමුදා නිලධාරීන් රැසකට උසස් නිලතල ලබා දීමේ උත්සවයකට සහභාගී වෙමිනි. එම අවස්ථාවට නායක කිම් ජොන් උන්ගේ දියණිය ද එක් වී සිටි බව විදෙස් මාධ්‍ය පවසා තිබේ.

 උතුරු කොරියාව අවසන් වරට අත්හදා බැලුවේ 'වැසොංග් 17' නමැති බැලැස්ටික මිසයිලයයි. මිසයිල අත්හදා බැලීම සාර්ථක විය. මෙම මිසයිලයට ඉතා පහසුවෙන්ම න්‍යෂ්ටික යුද ශීර්ෂ සවි කළ හැකි බව ද වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS