චීන ජනපති ජින්පින් වූහාන් නුවරට යයි

චීන ජනාධිපති ෂී ජින්පින් ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූ හුබෙයි පළාතේ වූහාන් නුවර සංචාරයක නියැලුණේය.
‘කෝවිඞ් 19’ වයිරසය පැතිරීම ආරම්භ වීමෙන් පසු චීන ජනාධිපති ෂී ජින්පින් වූහාන් නුවරට පැමිණි පළමු අවස්ථාව මෙයයි. චීන ජනාධිපතිවරයා වූහාන් පැමිණියේ පෙර දැනුම්දීමකින් තොරව යැයි ද පැවැසෙයි. චීන ජනාධිපතිවරයාගේ අරමුණ වූයේ වූහාන් නුවර සෞඛ්‍ය කටයුතු සිදුවන ආකාරය සොයා බැලීම බව චීන මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
මුහුණු ආවරණයක් පැලඳ ආරක්ෂක නිලධාරීන් ද පිරිවරා ගනිමින් ජනාධිපති ජින්පින්, වූහාන් නුවර ප්‍රධාන රෝහල්වලට ගොස් කොරෝනා ආසාදිත රෝගීන් සහ පැය 24 පුරා වෙහෙස නොබලා ඔවුන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් හමුවී කතාබහ කළේය.
වූහාන් නුවරින් කෝවිඞ් 19 වයිරසය පැතිරීම ආරම්භ වූයේ පසුගිය දෙසැම්බර් මාසයේ සිටය. ‘කෝවිඞ් 19’ කොරෝනා වයිරසය හිස එසවීම ආරම්භ වූයේ වූහාන් නුවර සත්ව වෙළෙඳපොළෙනි.
වයිරසය සම්බන්ධයෙන් වූහාන් සෞඛ්‍ය බලධාරීන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළේ දෙසැම්බර් 31 වැනිදාය. ජනවාරි 7 වැනිදා වනවිට වයිරසය ව්‍යාප්තවීම වළක්වමින් වූහාන් නුවර සීල් තැබීමටත් නිරෝධායන ක්‍රියාවලියක් ආරම්භ කිරීමටත් බලධාරීහු පියවර ගත්හ. ඒ සඳහා වූහාන් පොලිසිය සහ හමුදාව යෙදවිණි. වූහාන් සෞඛ්‍ය බලධාරීන් හමුවීමෙන් පසු චීන ජනාධිපතිවරයා වූහාන් නුවර සීල් තබා නිරෝධායන කළ හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් හමුවී නිරෝධායන කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ද විමසා බැලීමක් කළේය.
චීනයෙන් ආරම්භ වුණු වයිරසය මේ වනවිට ලොව පුරා පැතිර ගොස් ඇත. ලක්ෂයකට වැඩි පිරිසකට වයිරසය ආසාදනය වී අවසන්ය. චීනයෙන් පිට කොරෝනා වයිරසය දරුණු ලෙස පැතිර යන්නේ දකුණු කොරියාවේ, ඉතාලියේ සහ ඉරානයේය. චීනයේ ආසාදිතයන් ගණන සහ කෝවිඞ් 19 මරණ ගණන අඩු වෙමින් පවතින බව පැවැසෙයි.
වූහාන් නුවර කොරෝනා ආසාදිත රෝගීන්ගේ අඩුවක් දකින්න ලැබීමත් සමඟ කොරෝනා රෝගීන් වෙනුවෙන් පමණක් නිරෝධායන කුටිවලින් සමන්විතව ඉදි කළ තාවකාලික රෝහල් ගලවා ඉවත් කිරීමට ද බලධාරීන් සූදානම් වන බව වාර්තා වේ.
වූහාන්හිදීය (ඒ.එෆ්.පී.)

