චීන ගගනගාමීන් උඩ වැඩ



පෘථිවි කක්ෂයට ගිය ගගනගාමීන් තිදෙනා, තම අභ්‍යවකාශ නැවැතුම්පොළේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇතැයි චීන අභ්‍යවකාශ ආයතනය පවසයි. චීන අභ්‍යවකවකාශ ආයතනය මෙසේ පැවැසුවේ, එම ගගනගාමීන් තිදෙනාගේ ඡායාරූප සහ වීඩියෝ දසුන් ද චීන මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරමිණි.

චීනය, අභ්‍යවකාශයේ ඉදි කෙරෙන අභ්‍යවකාශ නැවැතුම්පොළ හැදින්වෙන්නේ, 'ටියැංගොන්' යනුවෙනි. මෙය අදියර කීපයක් යටතේ ඉදි කෙරෙන්නේ කොටසින් කොටස උඩු ගුවනට ගෙන ගොස් එකලැස් කිරීමෙනි. 'ටියැංගොන්' අභ්‍යවකාශ නැවැතුම්පොළට සම්බන්ධ කෙරෙන එම කොටස් මොඩියුල යනුවෙන් හැඳින්වෙයි.

ගගනගාමීන් තිදෙනා අභ්‍යවකාශය බලා ගියේ 'ටියැංහේ' නමැති මොඩියුලයේ එකලැස් කිරීම් සදහාය. ඔවුන් තිදෙනා මාස 6 ක කාලයක් එම එකලැස් කිරීමේ කටයුතුවල නියැලෙනු ඇතැයි පැවැසෙයි. ඒ අනුව, චීන ගගනගාමීන් තිදෙනකු වැඩිම කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටින පළමු අවස්ථාව වන්නේ මෙයයි.

මෙම එකලැස් කිරීමේ මෙහෙයුමේ වැදගත් සිදුවීමක් වන්නේ ඊට සම්බන්ධ වන ගගනගාමීන් තිදෙනාගෙන් එක් අයකු කාන්තාවක වීමය. මැය 41 ක් හැවිරිදි වැංග් යැපිං ය. ඉදිවෙමින් පවතින අභ්‍යවකාශ නැවැතුම්පොළට ගිය පළමු ගගනගාමිනිය වන්නේ ද ඇයයි. මැය 2013 වසරේ දි අභ්‍යවකාශ සංචාරයකට එක් වූවාය. ඒ, අභ්‍යවකාශයට ගිය දෙවැනි චීන ගගනගාමිනි ලෙසිනි.

ගගනගාමීන් තිදෙනාගේ නායකයා ලෙස කටයුතු කරන්නේ 55 හැවිරිදි ෂියා ෂිගැංග් ය. 2008 වසරේ පළමු චීන ගගනගාමියා ලෙස අභ්‍යවකාශයට ගොස් ගගන සක්මනක නියැලුණේ ද මොහුය. මොහු චීන ගුවන් හමුදාවේ නියමුවකු ලෙස සේවය කළ තැනැත්තෙකි.
මෙහෙයුමට එක්වන තෙවැනි ගගනගාමියා 41 ක් හැවිරිදි, යේයි ගොංග්ෆූය. මොහු ද පළපුරුදු ගුවන් නියමුවෙකි.

ගගනගාමීහු තිදෙනා පසුගිය 15 වැනිදා 'ලෝංග් මාර්ච් 2 එෆ්' රොකට්ටුවක සහ 'ෂෙංහූ12' ගගන කැප්සියුලයේ ආධාරයෙන් උඩු ගුවන බලා ගියහ. රොකට්ටුවෙන් වෙන්වුණු කැප්සියුලය, 'ටියැංහේ' මොඩියුලය සමඟ සාර්ථකව සම්බන්ධ විය.

(රොයිටර්)


RECOMMEND POSTS