චිලී වැසියෝ 112 ක් පිළිස්සෙති



ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ළැව් ගිනිවලට බිලිවුණු ගණන ඊයේ (5) වනවිට 112 තෙක් ඉහළ ගොස් තිබුණි.

ළැව් ගිනි දරුණු ලෙස පැතිර යන්නේ වැල්පාරිසෝ නමැති පළාතේය. විනාදෙල් මාර්, ලිමාචේ, ක්විල්යුයේ සහ විලා ඇලෙමානා යන නගරවලට ළැව් ගිනි ව්‍යාප්ත වී ඇත. ළැව් ගිනි හේතුවෙන් විනාශ වූ නිවාස ගණන 6,000 කට වැඩිය.

ළැව් ගිනි හේතුවෙන්, චිලී රාජ්‍යයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපති බොරික් පියවර ගෙන ඇත.

ජනාධිපති බොරික්, විපතට පත් වුණු සහ නිවාස අහිමි වුණු නගර වැසියන් හමුවී ඔවුන් සමඟ සාකච්ඡා කළේය. රෝහල්වලට ගොස් ප්‍රතිකාර ලබන වැසියන්ගේ සුවදුක් විමසා බැලුවේය.

ළැව් ගිනි පාලනයට, විපතට පත්වූවන්ට පිහිටවීමට සහ තුවාල ලැබූවන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට හැකි සෑම දෙයක්ම කරන්නැයි චිලී ජනාධිපතිවරයා අදාල බලධාරීන්ට උපදෙස් දී තිබේ.

ළැව් ගිනිවලට හසුවීමෙන් සහ දුම් ආඝ්‍රාණය වීමෙන් රෝහල්ගත කළ පිරිස දහසකට වැඩිය. චිලී රටේ වාර්තා වූ දරුණුතම ළැව් ගිනි තත්ත්වය මෙය යැයි පැවැසෙයි.

වියලි කාලගුණය සහ වියලි සුළං හේතුවෙන්, ළැව් ගිනි  පාලනය කර ගැනීමට ගිනි නිවන භටයන්ට නොහැකි වී ඇතැයි ද පැවැසෙයි.


RECOMMEND POSTS