චර්චිල්ගේ ප්‍රතිමා කඩන්න දෙන්නේ නෑ

දෙවැනි ලෝක යුද සමයේ මහා බ්‍රිතාන්‍ය නායකත්වය දුන් එඩිතර නායකයකු ලෙස ඉතිහාසගත එරට අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල්ගේ ප්‍රතිමා කඩා ඉවත් කරන්නැයි විරෝධතාකරුවන් බල කරන නමුත් වත්මන් අගමැති බොරිස් ජොන්සන් අවධාරණය කර ඇත්තේ ඊට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවය.
තමන්ගේ අවසන් හුස්ම දක්වා, චර්චිල්ගේ ප්‍රතිමා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමන් සටන වදින බව ද අග්‍රාමාත්‍ය ජෝන්සන් විරෝධතාකරුවන්ට පවසා ඇත. මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර මේ වනවිට විරෝධතා උත්සන්න වී ඇති අතර ඇතැම් විරෝධතා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගෙන තිබේ.
විරෝධතා ආරම්භ වූයේ ඇමෙරිකාවේත් මහා බ්‍රිතාන්‍යයේත් කළු ජාතිකයන්ගේ අයිතීන් සුරැකීම වෙනුවෙන් සහ පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහිවය. කෙසේ නමුත් මේ වනවිට ආරම්භ වුණු එම විරෝධතා යටතිවිජිතවාදයට, වහල්භාවයට සහ වර්ගවාදයට එරෙහි විරෝධතා බවට පරිවර්තනය වී ඇත.
යටතිවිජිත සමයට සහ වහල් වෙළෙඳාමට සම්බන්ධ වූ රාජ්‍ය නායකයන් සහ ඓතිහාසික පුද්ගලයන්ගේ ස්මාරක සහ පිළිම කඩා දැමීම සිදුවන්නේ ඒ අනුවය. මහා බ්‍රිතාන්‍යයේ පමණක් නොව, යුරෝපයේ සෙසු රටවලත්, ඇමෙරිකාවේත් පිළිම කඩා දැමීම සිදුවෙයි. ලන්ඩන් නුවර කලහකරන විරෝධතාකරැවන් චෝදනා නගා ඇත්තේ වින්ස්ටන්ට් චර්චිල් වර්ගවාදී අදහස් ඇත්තකු බවත් එහෙයින් ඔහුගේ පිළිම කඩා ඉවත් කළ යුතු බවය.
‘අපට අපේ ඉතිහාසය එක රැයින් වෙනස් කරන්න බැහැ. කැමැති වුණත් අකමැති වුණත් මකා දමන් බැහැ. වින්ස්ටන් චර්චිල් වීරයෙක්. දෙවැනි ලෝක යුද සමයේ මහා බි්රතාන්යයට ඔහු ශක්තිමත් නායකයකු වුණා. බි්රතාන්ය වැසියන් ලෙස අප ඒ ගැන ආඩම්බර විය යුතුයි. චර්චිල් ඉතිහාසයෙන් ඉවත් කරන්න බැහැ. ඔහු මාගේ වීරයා. ඔහුගේ ප්‍රතිමා ඉවත් කරන්න මා ඉඩ දෙන්නේ නැහැ.’ යැයි විරෝධතාකරුවන් අමතමින්, බි්රතාන්ය අගමැති බොරිස් ජොන්සන් පැවැසීය.
ලන්ඩනයේදීය (රොයිටර්/ඩේලිමේල්)

