ගොවියෝ ප්‍රාන්ත සභාව වටලති



දින හයක පාගමනකින් පසු ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාෂික් හි ගොවීහූ ඊයේ (12) ප්‍රාන්ත සභාව වටකළහ.

මෙම ගොවීහූ ඉකුත් දා (11) ඉන්දියාවේ මූල්‍ය අගනගරය වන මුම්බායි වෙත පිවිසි අතර දින හයක් මුළුල්ලේ කිලෝමීටර 180ක් පාගමනින් පැමිණි ගොවීන් සංඛ්‍යාව 35,000ත් 50,000ත් වන බව ගොවි සංවිධාන නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

වසර ගණනක් මුළුල්ලේ කරන ලද ඉල්ලීම් නොසලකා හැරීම නිසා මෙලෙස ගොවීහූ ප්‍රාන්ත සභාව වටකළහ. ණය හා විදුලි බිල් ගෙවීම් අත්හැරීම, සාධාරණ ගෙවීම්, ස්වාමිනාතන් කොමිසන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම යනාදි වසර ගණනක් මුළුල්ලේ ඉදිරිපත් කළ ඉල්ලීම් ක්‍රියාත්මක නොකිරීම නිසා ගොවීහූ මෙලෙස ප්‍රාන්ත සභාව වටකළහ. මෙම විරෝධතාවට විවිධ ජනකොටස් රැසක් ද එක්වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන ජාතික කොංග්‍රසය, පාලක භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ සාමාජික පක්ෂ වන නව්නිර්මාන් සේනා සහ ෂිව් සේනා යන පක්ෂද ගොවීන්ගේ මෙම විරෝධතා ව්‍යාපාරයට සහාය දක්වා තිබේ. කෙසේ නමුත් දේශපාලන පක්ෂයවල සහාය ප්‍රතික්ෂේප කර තිබෙන ගොවීහූ නව්නිර්මාන් සේනා සහ ෂිව් සේනා දේශපාලන පක්ෂ ලෙස නොව ආණ්ඩුවේ නියෝජිතයන් ලෙස මේ ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා අදහස් දැක්විය යුතු යැයි ඊයේ (12) ප්‍රකාශ කළහ.

හර්ෂණ තුෂාර

(එන්.ඩී.ටීවි)


RECOMMEND POSTS