ගුවනේදීත් කාන්තාවන්ට පමණයි, ඉන්දියා ගුවන්සේවය තීරණය කරයි !




කාන්තාවන්ට පමණක් අසුන්ගත හැකි සාමාන්‍ය පන්තියේ මගී ආසන වෙන් කිරීමේ වැඩපිළිවෙළක් එයාර් ඉන්ඩියා ගුවන් සමාගම ආරම්භ කර ඇත.

කාන්තාවන්ට මගී ආසන වෙන් කිරීමේ වැඩපිළිවෙළ මේ සති අන්තයේදී අභ්‍යන්තර ගුවන් ගමන්වලින් ආරම්භ කෙරෙන අතර ඉදිරි මාස කීපය ඇතුළත සෙසු ගුවන් ගමන් සඳහා ද එම පහසුකම ලබා දීමට ඉඩ ඇති බව වාර්තා වේ. 

ඒ අනුව ආසන හයකින් සමන්විත පළමු අසුන් පෙළ කාන්තාවන් සඳහා පමණක් වෙන් කරනු ලැබ තිබේ.එයාර් ඉන්ඩියා ගුවන් සමාගම විසින් එම ක්‍රියාමාර්ගය ගනු ලැබ ඇත්තේ ඇතැම් මගීන් විසින් කාන්තාවන් අයුතු ලෙස ස්පර්ශ කරනු ලැබ ඇති බවට වාර්තා පළ වීමත් සමගය. 

තනිව ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරනුවස් එම තීන්දුව ගනු ලැබූ බව එයාර් ඉන්ඩියා ගුවන් සමාගමේ සාමාන්‍යාධිකාරිවරිය 'ද හින්දු'පුවත්පතට පවසා තිබේ.

.කලබලකාරී ලෙස හැසිරෙන මගීන් පාලනය කිරීම සඳහා ගුවන් යානය තුළ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු යෙදවීමටත් එයාර් ඉන්ඩියා ගුවන් සමාගම කටයුතු කොට තිබේ. 

එයාර් ඉන්ඩියා ගුවන් සමාගම විසින් මතභේදාත්මක තීන්දුවක් ගනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙය නොවේ.

ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කිරීමට තරම් ඇතැම් තරුණියන් තරබාරු වැඩි බව සමාගමේ ප්‍රධානීන් 2015 වසරේදී කාර්ය මණ්ඩලයේ ඇතමුන්ට පවසා තිබිණි.

ඔවුන් එහිදී වැඩිදුරටත් සඳහන් කොට තිබුණේ එවැනි තරබාරු ගුවන් සේවිකාවන් නිසා ගුවන් සමාගමට ඉන්ධන සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවය.

(තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි.....


RECOMMEND POSTS