ගුරුවරු 311 කට සිසුන් 268 කට කොරෝනා

පිලිපීන ගුරුවරුන් 311 ට සහ සිසු දරුදැරියන් 268 කට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පිලිපීන අධ්‍යාපන අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.
කොරෝනා ආසාදතය වූ තවත් ගුරුවරුන් විසි දෙදෙනකු මියගොස් ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග උපුටා දක්වමින්, අධ්‍යාපන අමත්‍යාංශය වැඩිදුරටත් පවසා තිබේ.
වයිරස ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් පිලිපීනය මාස ගණනක් ‘ලොක්ඩවුන්’ කර තැබුණි. එය ආර්ථික වශයෙන් ගැටලු රැසක් ඇති කිරීමට තුඩු දුන්නේය. ඒ අනුව, අදියරෙන් අදියර රට යළි විවෘත කෙරුණි.
මාස ගණනක් තිස්සේ වසා දැමුණු පාසල් යළි විවෘත කෙරුණේ ද සෞඛ්‍ය උපදෙස් අනුවය. ගුරුවරුන් සහ සිසු දරු දැරියන් අතරේ වයිරසය ව්‍යාප්ත වූයේ එසේ පාසල් යළි විවෘත කළ බැවින් යැයි චෝදනා එල්ල වී තිබේ.
පිලිපීනය කොරෝනා වයිරසයෙන් බැටකන රටකි. පිලිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුටර්ටේ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට හමුදාව යොදවා ඇති අතර එය පිලිපීන වැසියන් බොහෝ දෙනාගේ විවේචනයට හේතුවක් වී තිබේ. මේ වනවිට පිලිපීනයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 1,90,000 කි. මරණ වාර්තා වන්නේ 3,000 ක් ලෙසය.
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමට රුසියානු විද්‍යාඥයන් නිර්මාණය කර ඇති ‘ස්පුට්නික් 5’ නමින් නම් කළ එන්නත පිලිපීන වැසියන් සඳහා කඩිනමින් ලබා ගැනීමට කටයුතු කරන බවත්, පළමුවෙන් තමන් එම එන්නත ලබා ගැනීමට සූදානම් බවත් පිලිපීන ජනාධිපතිවරයා පවසා ඇත.
මැනිලා නුවරදීය (රොයිටර්)

