ගිනිකන්දට බිලිවුණු ගණන 24 ක්

නවසීලන්තයේ ‘වකාරී’ හෙවත් ‘වයිට් අයිලන්ඞ්’ නමැති කුඩා දිවයිනේ යමහල් පිපිරීමෙන් මියගිය ගණන 24 ක් බවත්, තවත් 30 දෙනකු අතුරුදන් බවත් නවසීලන්ත අගමැතිනී ජැසෙන්ඩා එර්ඩන් යළිත් වරක් මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියාය.
‘වයිට් අයිලන්ඞ්’ කුඩා දූපත පිහිටා ඇත්තේ නවසීලන්තයේ උතුරු දිවයිනේ සිට කිලෝ මීටර් 50 ක් පමණ දුරිනි. දූපතේ ඇති යමහල නවසීලන්තයේ වඩාත් සක්‍රීය යමහල ද වෙයි. නවසීලන්තයට අයත් වුවත් දූපත පෞද්ගලික හිමිකාරීත්වයක් සහිත දූපතකි.
යමහල හේතුවෙන් වකාරී දූපත සංචාරක ආකර්ශනයකි. නවසීලන්ත ජාතිකයන් පමණක් නොව, විදෙස් සංචාරකයෝ ද දූපතට පැමිණ, යමහල් විවරය තෙක් ඇවිද යති. යමහලක් පිහිටා ඇති බැවින් දූපත උණුසුම්ය. බොහෝ සංචාරකයන් දූපතට පැමිණෙන්නේ මේ උණුසුම විඳ ගැනීමට යැයි පැවැසෙයි.
සංචාරකයන් රැගෙන යන සුඛොපබෝගී කෲස් නැව් දූපත අසලට සේන්දු වන අතර, නැව්වල ගමන් කරන සංචාරකයෝ දූපතට බෝට්ටුවලින් පැමිණ දූපත නරඹති. දූපතේ ගිනි කන්ද පුපුරා යෑම (විදාරණය) සිදුවූයේ 9 සවස ය. ඒ වනවිට විදෙස් සංචාරකයෝ 100 කට වැඩි පිරිසක් දූපතට පැමිණ යමහල නරඹමින් සිටියහ. එම සංචාරකයන් පැමිණ සිටියේ කැරීබියානු සුඛෝපබෝගී කෲස් නැවකිනි. දූපත නැරැඹීම සංචාරයේ කොටසක් විය.
පෙර අනතුරු ඇඟවීමකින් තොරව, හදිසියේ ගිනි කන්ද පුපුරා ගියේ ලාවා විහිදීමක් නොකර, හුමාලය විහිදුවමිනි. දූවිලි, අළු අංශු සහිත විෂ දුමාරය අඩි 12,000 ක් උසට විසිරී පැතිරී යන්න විය. සංචාරකයෝ එම හුමාලයට හසුවී පිළිස්සී මියගියහ. අතුරුදන් වූ පිරිස හුමාලයත් සමඟ ගිනි කඳු කුහරයට විසිවන්න ඇතැයි පැවැසෙයි. පිළිස්සුම් තුවාල ලැබූවන්ට පිහිටවීමට නවසීලන්ත වෙරළාරක්ෂක නිලධාරීහු වහා මැදිහත් වූහ. හෙලිකොප්ටර් යානා 7 ක් ඒ සඳඑා යොදා ගැණින.
වෙලිංටන්හිදීය (ඒ.එෆ්.පී.)

