ගැහැනු ළමයි පිරිමි ළමයි වෙන් කරලා



තලේබාන්වරුන් ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගැනීමෙන් පසු පළමු වරට ඊයේ (6) සිට ඇෆ්ගන් විශ්ව විද්‍යාලවල අධ්‍යාපන කටයුතු ආරම්භ වූ අතර, පංති කාමරවල තිර රෙදි යොදා සිසුන් සහ සිසුවියන් වෙන් කර තැබීමට තලේබාන්වරුන් අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී තිබුණි.

කාන්තා අයිතීන් සුරකින බවටත්, බාලිකා අධ්‍යාපනයට අවසර දෙන බවටත් තලේබාන්වරුන් පොරොන්දු වී ඇත. ෂරියා නීතියේ රාමුව ඇතුළත එම කටයුතු සිදුවනු ඇතැයි ද තලේබාන්වරුන් පැහැදිලි කර තිබේ. විශ්ව විද්‍යාල කටයුතු ආරම්භ වූයේ ඒ අනුවය.

බටහිර අනුග්‍රහයෙන් පිහිටවූ ඇෆ්ගන් රජය පැවැති වසර 20 ක පමණ කාලයේ, සිසුන් සිසුවියන් එකට අධ්‍යාපනය ලැබූ නමුත්, දැන් ඔවුන්ට වෙන් වෙන්ම තිර රෙදිවලින් වෙන් වී, පංති කාමර තුළ අධ්‍යාපනය හැදෑරීමට සිදුවී ඇති බව පැවැසෙයි.
මේ අතර, කාන්තා අයිතීන් සුරකින්නැයි තලේබාන් සංවිධානයට බලකරමින්, කාබුල් අගනුවර සමාජ ක්‍රියාකාරීනියන් පිරිසක් විරෝධතා පා ගමනක් සංවිධානය කර තිබුණු බවත්, තලේබාන්වරුන් කඳුළු ගෑස් සහ ගම්මිරිස් ප්‍රහාර එල්ල කරමින් ඔවුන් විසුරුවා හැරිය බවත් වාර්තා වේ.

විරෝධතා පා ගමන කාබුල් ජනාධිපති මන්දිරය තෙක් පැවැත්වීමට සූදානම් විය. රැකියාවල නියැලීමට දිගටම අවසර දෙන ලෙසත්, තලේබාන්වරුන් පිහිටුවන නව රජයට කාන්තා නියෝජනයක් අවශ්‍ය බවත් පෙන්වා දෙමින්, මෙම රැලිය සංවිධානය කර තිබුණු බව ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS