ග්‍රහකයෙන් පස් අරන් ආපසු එයි
විශ්වයේ ඈතට ගොස්, ‘රයුගු’ නමැති යෝධ ග්‍රහකයෙන් පස් සාම්පල ලබාගත්, ජපාන අභ්‍යවකාශ ආයතනයට අයත් ‘හයබූසා 2’ නමැති රොබෝ යානය, ඊයේ (5) එම පස් සාම්පල පෘථිවියට රැගෙන ආවේය.
ග්රහකයකට ගොස්, එම ග්රහකය මතට පතිත කර, පස් සාම්පල ලබා ගෙන යළි පෘථිවියට පැමිණි පළමු ගවේෂණ මෙෙහයුම ලෙස මෙය සැලකෙයි.
කිලෝ මීටරයක විෂ්කම්භයක් යුත් ‘රයුගු’ සොයා ගැනීම සිදුවූයේ 1999 වසරේදීය. ජපානය ඔවුන්ගේම රොකට්ටුවක් ආධාරයෙන් ‘හයබූසා 2’ යානය රයුගු බලා යැව්වේ, 2014 වසරේ දෙසැම්බර් 3 වැනිදා වන අතර දීර්ඝ ගමනකින් පසු ‘රයුගු’ බලා පැමිණියේ 2018 වසරේ ජූනි 27 වැනිදාය.
ග්රහකය මතට ගොඩබෑමන් පසු, වසරක කාලයක් දත්ත රැස් කිරීම සිදුවුණු අතර, ‘හයබූසා 2’ මවු යානයක් ලෙස ක්‍රියා කළේය. යානය තුළ කුඩා රෝවර් රොබෝ යන්ත්‍ර හතරකි. ඒවා ද ග්‍රහකයේ එහෙ මෙහෙ ගමන් කරමින් දත්ත සහ සාම්පල රැස් කරන්න විය. ‘හයබූසා 2’ යානය ද විශේෂ කැමරා පද්ධතියකින් සහ සංවේදක පද්ධතියකින් සමන්විත බව පැවැසෙයි.
ග්‍රහකයේ පස් සහ සාම්පල කුඩා කැප්සියුලයකට එක් රැස් කර ගැනීමෙන් පසු ‘හයබූසා 2’ යානය 2019 දෙසැම්බර් 6 වැනිදා ග්‍රහකයෙන් පිටත් වී යළි පෘථිවිය බලා ගමන් ඇරඹුවේය.
පෘථිවියට ළං වීමෙන් පසු, ‘හයබූසා 2’ යානයෙන් වෙන් වී කැප්සියුලය පෘථිවිය බලා ගමන් ඇරැඹුවේ කිලෝ මීටර් 200 ක් ඉහළ පෘථිවි කක්ෂයේදීය.
පෘථිවියට පහත් වෙද්දී, කිලෝ මීටර් 10 දුරින්, කැප්සියුලයට සම්බන්ධ පැරෂූට් දිග හැරුණු බව පැවැසෙයි. ඒ, එහි වේගය අඩාල කිරීම සඳහාය.
කැප්සියුලයට, හසුකරගැනීමේ සංඥා උපාංගයක් සවි කර තිබුණු බැවින් එය පතිත වන්නේ කොතැනටදැයි කල්තියා ජපන් විද්‍යාඥයෝ දැන සිටියහ. කැප්සියුලය පතිත වූයේ දකුණු ඕස්ට්‍රේලියාවේ වූ මේරා කාන්තාර දේශයටය. ජපාන විද්‍යාඥයන්ට ඕස්ට්‍රේලියා රජයේත් හමුදාවේත් සහාය හිමිවිය.
හසුකර ගැනීමේ සංඥා අනුව යමින්, කූබර් පැඩි නමැති කලාපයට වැටී තිබුණු කැප්සියුලය සොයා ගැනීම සිදුවිය. පස් සාම්පල ද සමඟ කැප්සියුලයේ බර කිලෝ ග්‍රෑම් 16 ක් විය. ජපාන අභ්‍යවකාශ ආයතනයේ විශේෂඥයන් කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවට ගොස් සිටි අතර, ඕස්ට්‍රේලියා හමුදාව, ඔවුන් විසින් සොයා ගනු ලැබූ කැප්සියුලය ජපන් විද්‍යාඥයන්ට බාර දීම සිදු විය.
ජපාන විද්‍යාඥයන් අතට පත්වුණු පස් සාම්පල පරීක්ෂා කිරීමට නියමිත බවත්, විශ්වයේ රහස් පිළිබඳව පමණක් නොව, ජීවයේ ආරම්භය පිළිබඳ රහස් ද අනාවරණය කර ගැනීමට තමන් අපේක්ෂා කරන බව ජපන් අභ්‍යවකාශ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ටෝකියෝ නුවරදීය (රොයිටර්)

