කොවිඞ් 19 අවදානම පහව ගියේ නෑ

‘කොවිඞ් 19’ වයිරසය හමුවේ, රටවල් බොහොමයක්, පනවා තිබූ තහංචි ලිහිල් ඇති කර නමුත් ‘කොවිඞ් 19’ වයිරස අවදානම කිසිසේත් අඩුවී නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ටෙඩ්රෝස් ඇඞ්හැනොම් ගෙබි්රයේස්සි බිය පළ කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙසේ බිය පළ කළේ ඊයේ (15) ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්ථානයේ පැවැති දෛනික මාධ්‍ය හමුවට එක් වෙමිනි. තවමත් දිනපතා ‘කොවිඞ් 19’ වයිරස ආසාදිතයන් ලක්ෂයකට වැඩි පිරිසක් වාර්තා වන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ටෙඩ්රෝස් ඇඞ්හැනොම් ගෙබි්රයේස්සි පෙන්වා දුන්නේය.
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වූවන්ගේ ගණන මේ වනවිට මිලියන අට ඉක්මවා ගොස් ඇති අතර, වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන මිලියන 3.8 කි. මරණ වාර්තා වන්නේ 4,35,662 ක් ලෙසිනි. වැඩිම මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්, බ්‍රසීලයෙන් සහ එක්සත් රාජධානියෙනි.
‘රටවල් බොහොමයක්, වයිරස අවදානම තිබියදී පැනැවූ තහංචි ලිහින් කර තිබෙනවා. දෛනික කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙනවා. ඒත් බොහෝ රටවල සෞඛ්‍ය අංශ පවසන්නේ, ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිනොපඳින බවය. එය අනුමත කළ නොහැකියි. වයිරසය සමඟ අපට තව කාලාන්තරයක් ජීවත් වෙන්න සිදුවෙනවා. එසේ ජීවත් වීමට නම් අප යහපත් සෞඛ්‍ය පුරුදු පිළිපැදිය යුතුයි. සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස්වලට ගරු කළ යුතුයි’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ගෙබි්රයේස්සි මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ඇති බිහිසුණුකම නම්, එය ඉතා වේගයෙන් පැතිරීම සහ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයන් වාර්තා වීමත්, එසේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයන් රෝග වාහකයන් වීමත් ය.
මේ අතර ඊයේ (15) වෙද්දී ඇමෙරිකාවේ ආසාදිතයන් ගණන 2,111,622 ක් ලෙසත්, බ්‍රසීලයේ ආසාදිතයන් ගණන 8,88,271 ක් ලෙසත්, රුසියාවේ ආසාදිතයන් ගණන 5,36,484 ක් ලෙසත්, ඉන්දියාවේ අසාදිතයන් ගණන 3,32,424 ක් ලෙසත්, එක්සත් රාජධානියේ ආසාදිතයන් ගණන 2,98,315 ක් ලෙසත් වාර්තා වේ.
ජිනීවාහිදීය (රොයිටර්)

