කොලොම්බියාවට-කියුබාවට ජනපති ට්‍රම්ප් අනතුරු අඟවයි

හමුදාව යොදවා වෙනිසියුලාවට පහර දී, එරට ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ සීලියා අත්අඩංගුවට ගෙන, ඇමෙරිකාවට ගෙන්වා ගත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් ලතින් ඇමෙරිකා රටවල් දෙකක් වන කියුබාවටත්, කොලොම්බියාවටත්, අනතුරු ඇඟවීමක් කර ඇත.
කොලොම්බියාව සෘජුව වෙනිසියුලාවට මායිම්ව පිහිටයි. ට්‍රම්ප්ගේ අණින්, ඇමෙරිකන් හමුදාවේ ඩෙල්ටා ෆෝස් සෙබළුන්, වෙනිසියුලාවේ කැරකස් අගනුවරට පහර දෙමින්, වෙනිසියුලා ජනාධිපතිවරයා මදුරෝ සහ බිරිඳ අල්ලාගෙන ඇමෙරිකාවට රැගෙන ආවේ, මදුරෝ සහ බිරිඳ මත්ද්‍රව්‍ය ජාවාරවලට අනුග්‍රහය දීම යන චෝදනාවල යටතේය.
ට්‍රම්ප් විසින් ත්‍රස්ත සංවිධාන ලෙස නම් කරනු ලැබූ වෙනිසියුලාවේ ක්‍රියාත්මක ‘කාටෙල් ඩි ලොස් සෝල්ස්’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියට මදුරෝ පමණක් නොව බිරිඳ සීලියා සෘජුව සම්බන්ධ යැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ තහවුරු කර ඇත.
කොලොම්බියා ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ ද මදුරෝ මෙන්, කොලොම්බියාවේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිවලට අනුග්‍රහය දෙන බවටත්, කොලොම්බියාව හරහා ද ඇමෙරිකාවට කොකේන් මත්ද්‍රව්‍ය ගෙන ඒම සිදුවන බවටත් ජනාධිපති ට්‍රම්ප් චෝදනා නගා ඇත.
‘මා හිතන්නේ කොලොම්බියා ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ කල්පනාවෙන් වැඩ කළ යුතුයි. ඔහුට මා කීප වතාවක් අනතුරු ඇඟවීම් කර තිබෙනවා. වැඩ වරද්දා ගන්න එපා. එසේ කළොත් මදුරෝට සිදුවුණු ආකාරයේ ‘අකරතැබ්බක්’ වෙන්න බැරි නැහැ’ යැයි ට්‍රම්ප් මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත.
කියුබාවට අනතුරු ඇඟවීමක් කරමින්, ට්‍රම්ප් පැහැදිලි කර ඇත්තේ කියුබා රජය අඩපණ වී කඩා වැටීමේ අවදානමක් ඇති බවය. ‘කියුපාව කඩා වැටෙන්න ඔන්න මෙන්න. මා හිතන්නේ නැහැ ඔවුන්ට වැඩි දවසක් අල්ලන් යන්න පුළුවන් වේවි මා හිතන්නේ නැහැ. කියුබාවේ පැවැත්ම මෙතෙක් කල් රඳා පැවැතුණේ වෙනිසියුලාව නිසයි. දැන් එය වෙනස් වේවි.’ යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලි කර ඇත.
වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ බිරිඳ අල්ලාගෙන ඇමෙරිකාවට ගෙන ඒම සම්බන්ධයෙන් ඉරානය සිය විරෝධය පළ කර ඇත. මීට ප්‍රතිචාර දක්වමින්, ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ ඇමෙරිකාවේ උදහසට ලක් නොවිමට ඉරානය කටයුතු කළ යුතු බවය.

