කොරෝනා මඬින්න හැමදේම කරනවා

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය මැඬලීමට හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නා බව යුරෝපා සංගමය ප්‍රතිඥා දුන්නේය.
චීනයෙන් ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වුණු ‘කෝවිඞ් 19’ වයිරසය හේතුවෙන් මේ වනවිට වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ ඉතාලියටය. මුළු ඉතාලියම නිරෝධායනය කිරීමට ඉතාලි රජය පියවර ගෙන ඇත. ඉතාලිය යුරෝපා සංගමයේ සාමාජික රටකි.
යුරෝපා සංගමයට අයත් සෙසු රටවලින් ද ‘කෝවිඞ් 19’ ආසාදිතයන් හමුවී ඇත. විදෙස් පුවත් සේවා වාර්තා කර ඇති අන්දමට යුරෝපා රටවල් 30 කට කොරෝනා වයිරසය ව්‍යාප්තවී ඇත.
‘කෝවිඞ් 19’ නව කොරෝනා වයිරසය හේතුවෙන් යුරෝපා සංගමයේ හදිසි සැසියක් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර, යුරෝපා සංගම් මූලස්ථානයේදී පැවැත්වුණු අතර, සාමාජික රටවල සෞඛ්‍ය ඇමැතිවරුන්, මුදල් ඇමැතිවරුන් සහ නියෝජිතයන් ඊට සහභාගී වූ බව වාර්තා විය.
ප්‍රංශය යුරෝපා සංගමයේ ප්‍රබල සාමාජිකයෙකි. ප්‍රංශයේ සංස්කෘතික ඇමැති ෆ්රැන්ක් රියෙස්තර් ට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් ඔහු නිරෝධායනය කළ බවත් වාර්තා විය.
ප්‍රංශ ඇමැති මණ්ඩලයේ සිටින වඩාත් ජනතාව අතර ගැවසෙන ඇමැතිවරයා බව පැවැසෙන්නේ 46 හැවිරිදි ෆ්රැන්ක් රියෙස්තර් ය. මීට අමතරව, ප්‍රංශ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් පස් දෙනකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇත. ප්‍රංශයෙන් හමුවුණු කොරෝනා ආසාදිතයන් ගණන 1,412 කි. ප්‍රංශයෙන් හමුවුණු කොරෝනා මරණ සංඛ්‍යාව 20 කි.
යුරෝපා සංගමයේ තවත් ප්‍රබල සාමාජික රටක් වන්නේ ජර්මනියයි. ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් පසුගිය දා මාධ්‍ය හමුවේ කියා සිටියේ කොරෝනා වයිරසය ජර්මන් වැසියන්ගෙන් සියයට 70 කට ආසාදනය වනු ඇතැයි බිය පළ කරන බවය. චාන්සල්වරිය මෙසේ බිය පළ කළේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් වාර්තා උපුටා දක්වමිණි. ජර්මනියෙන් හමුවී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 1,139 කි.
යුරෝපා සාමාජිකයකු වන ස්පාඤ්ඤයෙන් ද කොරෝනා වයිරස ආසාදිතයන් 1,622 ක් හමුවී ඇත. සෙසු යුරෝපා රටවල සේම ස්පාඤ්ඤයේ ද පාසල්, අධ්‍යාපන ආයතන, විශ්ව විද්‍යාල ආදිය වසා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.
මේ අතර යුරෝපා සංගමයේ පරිපාලන කටයුතු බාර යුරෝපා කොමිසම නිවේදනය කළේ යුරෝපා සංගමයට අයත් සාමාජික රටවල් කොරෝනා මැඬලීම වෙනුවෙන් යූරෝ බිලියන 25 (ඇමෙරිකන් ඩොලර් බිලියන 28) ක මුදලක් වෙන් කළ බවය.
යුරෝපා කොමිසම මෙම තීරණය ගත්තේ යුරෝපා සංගමයේ සාමාජික රටවල සියලු රාජ්‍ය නායකයන් අතරේ පැවැති හමුවකින් පසුවය. රාජ්‍ය නායකයන් අතරේ එම හමුව පැවැත්වූයේ වීඩියෝ පණිවුඩ හුවමාරු ඔස්සේය. සියලු කටයුතු මෙහෙයවීම සිදු කළේ යුරෝපා කොමිසමේ සභාපතිනිය උර්සුලා වොන් දෙර් ලියෙන් ය.
යුරෝපා සංගමයේදීය (රොයිටර්)

