කොරෝනා පරද්දන්න ’දෙමුහුන්’ ප්‍රතිශක්තියක්



'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය සදහටම අඩපණ කළ හැකි දෙමුහුන් ප්‍රතිශක්තියක් සම්බන්ධයෙන් නව අදහසක් ඇමෙරිකාවේ රොකෆෙලර් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් ලොවට ඉදිරිපත් කර තිබේ.

වෛද්‍ය පර්යේෂකයන් මෙම දෙමුහුන් ප්‍රතිශක්තිය පිළිබඳ අදහස ලොවට ඉදිරිපත් කළේ, 'කොවිඩ් 19' ආසාදනය වී සුවය ලබා මාස 6 කින් පමණ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් ඇමෙරිකානු වැසියන් සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයකින් අනතුරුවය.

ඊට අමතරව, රටවල් රැසකින් 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී සුව ලබා ස්වභාවිකව සිරුරේ ප්‍රතිශක්තිය හටගන්නා ආකාරයත්, 'කොවිඩ් 19' වයිරසය සඳහා නිපදවා ඇති එන්නත් ලබා ගැනීමෙන් පසු සිරුරේ ප්‍රතිශක්තිය හටගන්නා ආකාරයත් ඔවුන් අධ්‍යයනය කර ඇතැයි ද පැවැසෙයි.

රොකෆෙලර් විශ්ව විද්‍යාලයේ වයිරසවේදීන් පෙන්වා දෙන ආකාරයට, 'කොවිඩ් 19' ආසාදනය වී සුවය ලැබීමෙන් පසු එන්නත් ලබා ගැනීමත් සමඟ සිරුරේ ප්‍රතිදේහ නිර්මාණය වී, දෙමුහුන් ප්‍රතිශක්තියක් හටගනී. මෙම ප්‍රතිශක්තිය ජීවිතය පුරාවට නොවෙනස්ව පවතී. ඔවුන් මෙම ප්‍රතිශක්තිය 'සුපිරි ප්‍රතිශක්තියක්' ලෙස හඳුන්වා දී ඇත.

ඒ අනුව, ඉදිරියේ දී 'කොවිඩ් 19' ද සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවක් පමණක් වනු ඇති බවත්ය. එකිනෙකට වෙනස් 'කොවිඩ් 19' එන්නත් ලබා දී එන්නත් මිශ්‍ර කිරීමෙන් ද මෙම 'සුපිරි ප්‍රතිශක්තිය' ඇති කර ගැනීමට හැකි බව ද විද්‍යාඥයන් පෙන්වා දී තිබේ.

(රොයිටර්)

 


RECOMMEND POSTS