කොරෝනා ජරමර මැද වඳුරු උණ



වේගවත් එන්නත්කරණයක් සිදුවුවත්, තවමත් 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් අතින් සහ මරණ අතින් ලොව අංක එක ඇමෙරිකා එක්සත් ජනපදයයි. කොරෝනා ජරමර මැද, ඇමෙරිකාවෙන් තවත් වයිරස උණ රෝගයක් ගැන වාර්තා වෙයි.

කෙසේ නමුත් ඒ ගැන බිය විය යුතු නොවෙයි. හේතුව එය කිසිසේත්ම 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට සමාන කළ නොහැකි බැවිනි. මිහිපිට ඇති කිසිම වයිරස රෝගයක් කොරෝනාට සමාන කළ නොමැකි අපට වැටහී අවසන්ය. 'කොවිඩ් 19' වසංගතය මැද ඇමෙරිකාවේ පැතිර යමින් ඇත්තේ 'මන්කි පොක්ස්' monkeypox හෙවත් 'වඳුරු උණ' වයිරසයයි.

'වඳුරු උණ' පැපොල වැනිය. නිසි ප්‍රතිකාරයක් නොමැත. ඉබේටම සනීප වෙයි. සිරුරේ ප්‍රතිශක්තිය අනුව, දින 14 ත් 21 ත් අතර කාලය වයිරසය සිරුරේ පවතී. කුරුලු උණ කුරුල්ලන්ගෙන් නම්, මී උණ මීයන්ගෙන් නම් සූකර උණ ඌරන්ගෙන් නම් වඳුරු උණ මනුෂ්‍ය අපට ආසාදනය වන්නේ වඳුරන්ගෙනි. ඒත් ඇමෙරිකාවේ වඳුරන් නැත. 'වඳුරු උණ' වඳුරන්ගේ සිරුරුවල පමණක් නොව, ලේනුන් මීයන් ආදී සතුන්ගේ සිරුරුවලත් දකින්න ලැබේ. වඳුරන් නැතත් ඇමෙරිකාවේ ලේනුන් සහ මීයන් විශේෂ බහුලය.

'වඳුරු උණ' මාරක නොවුනත් බටහිර අප්‍රිකාවේ පැතිර ගිය 'වඳුරු උණ' වසංගත හේතුවෙන් මරණ සිදුවී තිබේ. උණ, හිසරදය, සිරුරේ වේදනාව සහ පැපොල රෝගයේදී මෙන් සිරුරේ පලු මතුවීම රෝග ලක්ෂණ ලෙස සැලකෙයි. ඇමෙරිකාවේ වසංගත රෝග පාලනය සහ වළක්වා ගැනීමේ ඒකකය Centers for Disease Control and Prevention (CDC) නිකුත් කළ නිවේදනයකට අනුව, මේ වනවිට ඇමෙරිකාවේ ප්‍රාන්ත 27 කින් වයිරසය ආසාදනය වී රෝගී වූවන් 200 කට වැඩි පිරිසක් හමුවී තිබේ.

'වඳුරු උණ' monkeypox රෝගී තත්ත්වය ඇති කරන 'වඳුරු උණ වයිරසය' පළමුවෙන් සොයා ගැනුණේ 1970 වසරේදී, අප්‍රිකා රටවල කූඩු කළ වඳුරන්ගෙනි. 'වඳුරු උණ වයිරසය' සිරුරුවල ඇති වඳුරන් ජීවත් වන්නේ බටහිර අප්‍රිකා රටවලට අයත් වැසි වනාන්තරවල යැයි විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, වයිරසයේ ආරම්භය සිදුවුණු බව පැවැසෙන්නේ ද එම වැසි වනාන්තර කේන්ද්‍රකොට ගනිමිනි. 70 දශකයේ අප්‍රිකාවේ රටවල් 10 කින් 'වඳුරු උණ' වසංගත වාර්තා වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙයි.

'වඳුරු උණ' ඇමෙරිකාවට අලුත් දෙයක් නොවෙයි. 2003 වසරේ ද ඇමෙරිකාවෙන් වඳුරු උණ ආසාදිතයන් වාර්තා විය. අප්‍රිකාවෙන් පිට වෙනත් රටක, වඳුරු උණ රෝගීන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි. එම අවස්ථාවේදී රෝගීන් 81 දෙනකු වාර්තා විය. බොහෝ දෙනකුට රෝගය ආසාදනය වී ඇත්තේ ඇමෙරිකාවේ තැනිතලා ආශ්‍රිිතව බහුලව දකින්න ලැබෙන ප්‍රේරිඩෝග්ස් බිම් ලේනුන්ගෙන් යැයි පසුව තහවුරු විය. රෝගී වූ 81 දෙනාම සුවය ලැබූ බව ද පැවැසෙයි. 2017 වසරේ, වසර 40 කට පමණ පසු අප්‍රිකාවට අයත් නයිජීරියාවෙන් 'වඳුරු උණ' වසංගතයක් වාර්තා විය. 172 රෝගී වූ අතර, ඔවුන්ගෙන් සියයට 75 ක්, අවුරුදු 21 ත් 40 ත් අතර පිරිමි පුද්ගලයන් යැයි පැවැසෙයි.

බීබිසී ඇසුරිනි


RECOMMEND POSTS