කොන්සවටිව් පක්ෂයට ජය



ඔස්ට්‍රියා මහ මැතිවරණයෙන් කොන්සවටිව් ජනතා පක්ෂය පැහැදිලි ජයක් වාර්තා කළේය. ඒ අනුව දිගටම යළිත් වරක් ඔස්ට්‍රියාවේ චාන්සල් ධුරය හෙබවීමට ළාබාල නායක සෙබෙස්තියන් කර්ස් ට හැකිවනු ඇත.

මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්වී අවසන් වෙද්දී, 33 හැවිරිදි කර්ස් සහ ඔහුගේ ‘ජනතා පක්ෂය’ සියයට 38 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගත්තේය.

2017 වසරේ පැවැති මහ මැතිවරණයේ දී කර්ස් සහ ඔහුගේ පක්ෂය දිනාගෙන තිබුණේ සියයට 31 ක් ඡන්ද ප්‍රතිශතයක් පමණක් යැයි ඔස්ට්‍රියා මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

2017 මහ මැතිවරණයෙන් පසු කර්ස් ඔස්ටි්‍රයාවේ චාන්සල් ධුරයට පත් වූයේ, ඔහු සහ ඔහුගේ ජනතා පක්ෂය, අන්ත දක්ෂිණාංශික අදහස් ඇති ‘නිදහස් පක්ෂය’ සමඟ හවුල් වීමෙනිත.

කෙසේ නමුත් සිදුවුණු ආන්දෝලනාත්මක හෙළිදරව්වක් මුල්කොට ගනිමින්, නිදහස් පක්ෂය, ඔස්ට්‍රියානුවන්ගේ අප්‍රසාදයට පත් වෙද්දී, කර්ස්ගේ හවුල් රජය බිඳ වැටුණි. ඊයේ (29) ඔස්ට්‍රියාවේ හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට එය මඟ පෑදුණි.

මැතිවරණ කටයුතු ඊයේ උදෑසන 7 ට ආරම්භ වුණු අතර සවස 5 ට අවසන් විය. මිලියන 6.4 ක පිරිසක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බව මැතිවරණ කොමිසම නිවේදනය කර තිබුණි. ඊයේ මැතිවරණයෙන් ‘නිදහස් පක්ෂය’ දැඩි පසුබෑමකට ලක් විය.

ඔවුන් හිමිකර ගත් බව පැවැසෙන්නේ සියයට 17 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි.
ඔස්ට්‍රියාවේ ෆෙඩරල් ප්‍රාන්ත 9 කි. ඒවායින් 8 ක බලය තහවුරු කර ගැනීමට කර්ස්ගේ ජනතා පක්ෂය සමත් විය. කෙසේ නමුත් බහුතර බලයක් දිනා ගැනීමට මෙවර ද ජජනතා පක්ෂයට හැකියාවක් ලැබී නැත.

මෙවර, ‘නිදහස් පක්ෂය’ හැර වෙනත් පක්ෂයක් හෝ පක්ෂ කීපයක් සමඟ සන්ධානගත වී හවුල් ආණ්ඩුවක් පිහිටුවීමට කර්ස් ට සිදුවනු ඇති බව පැවැසෙයි. කර්ස් සිය හවුල් ආණ්ඩුව සඳහා සියයට 21.5 ක ඡන්ද ප්‍රතිශතයක් දිනූ සෝෂල් ඩිමොක්‍රැට්ස් පක්ෂය සමඟ හවුල් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ.

2017 වසරේ මැතිවරණයෙන් ජයග්‍රහණය කළත් බහුතර බලයක් නොමැති වූ බැවින්, කර්ස් නිදහස් පක්ෂය සමඟ හවුල් විය. ඒ වනවිට නිදහස් පක්ෂයට නායකත්වය දුන්නේ හෙයින්ස් ක්‍රිස්තියන් ස්ටාර්ෂ් ය. ස්ටාර්ෂ් ට නියෝජ්‍ය චාන්සල් ධුරය හිමිවිය.

හවුල් රජය බිඳ වැටුණේ ස්ටාර්ෂ් සම්බන්ධයෙන් ජර්මන් පුවත් නාළිකාවක් කළ අනාවරණයක් මුල්කොට ගනිමිනි. එම අනාවරණයත් සමඟ හටගත් ජනතා අප්‍රසාදය හේතුවෙන් ස්ටාර්ෂ් ට නියෝජ්‍ය චාන්සල් ධුරයෙන් ඉවත් වීමට සිදුවිය.

2017 වසරේ ඔස්ටි්‍රයා මැතිවරණයට පෙරදී ස්පාඤ්ඤ ඉබිස්සා දූපතේදී ස්ටාර්ෂ් රුසියන් සමාගමක් නියෝජන කළ තරුණියකට පවසන්නේ තමන් බලයට පත් වුවහොත්, රජයේ සියලු කොන්ත්‍රාත් එම සමාගමට ලැබෙන්න කටයුතු සලස්සන බවය.

මෙය ස්ටාර්ෂ් අමාරුවේ දැමීමට කළ උගුලක් වූ අතර, එම ගනුදෙනුවේ සියලු දසුන් ඔස්ට්‍රියා නීතීඥවරයකු විසින් රූගත කර ජර්මන් පුවත් නාළිකාවකට ලබා දී තිබුණි. ජර්මන් නාළිකාව එම දසුන් ප්‍රසිද්ධ කිරීමෙන් පසු ඔස්ට්‍රියා දේශපාලනයේ අර්බුදයක් හටගත්තේය.

වියානාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS