කොන්දේසි විරහිතව චීනයට සහාය දෙනවා



චීනයේ ජාතික ආරක්ෂාව වෙනුවෙන්, චීනයේ ස්වෛරීත්වය වෙනුවෙන් තමන් පෙනී සිටින බවත්, කොන්දේසි විරහිතව චීනයට සහාය දක්වන බවත් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීන ජනාධිපති ෂී ජින්පින් හමුවේ පවසා ඇත.

උතුරු කොරියානු නායකයා මේ බව පැවැසුවේ, බෙයිජීං අගනුවරදී චීන ජනාධිපති ජින්පින් හමුවුණු අවස්ථාවේදීය. චීනයේ ආරක්ෂාව වෙනුවෙන්, චීනයේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් උතුරු කොරියාව සැමවිටම පෙනී සිටින බව ද නායක කිම් ජොන් පවසා ඇත.

උතුරු කොරියානු නායකයා සහ චීන ජනාධිපතිවරයා අතරේ හමුව පැවැත්වූයේ ඊයේ (4) දිනයේය. චීනය සහ උතුරු කොරියාව අසල්වැසියන් වන අතර, උතුරු කොරියානු නායකයා චීනය බලා ගියේ දෙවන ලෝක යුද්ධය අවසන් වී වසර 80ක් සපිරීම නිමිත්තෙන් චීන අගනුවර පැවති විශාල හමුදා පෙළපාළියේ එක් ප්‍රධාන ආරාධිත අමුත්තකු ලෙසය. අනෙක් ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ය.

චීන ජනාධිපති ජින්පින්, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ සාකච්ඡා පැවැත්වුණු අතර මොවුන් තිදෙනා අතරේ මෙවැනි හමුවක් පැවැත්වුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. රුසියන් ජනාධිපති පුටින් සහ කිම් ජොන් උන් අතරේ ද වෙනම හමුවක් බෙයිජීං අගනුවරදී පැවැත්විණි.

චීනය සහ උතුරු කොරියාව සේම උතුරු කොරියාව සහ රුසියාව ද දේශසීමාවලින් එකිනෙකට සමීප වූ රටවල්ය. උතුරු කොරියාව සහ රුසියාව අතරේ ශක්තිමත් සබඳතා පවතී. රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන හමුදා සමඟ සටන් වදින රුසියන් හමුදාවේ සහායට උතුරු කොරියානු සෙබළු ද ගොස් සිටිති.

උතුරු කොරියාව යනු එරට හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ලොවෙන් හුදෙකලා වුණු රාජ්‍යයකි. ඇමෙරිකාය ඇතුළු බටහිර රටවල් උතුරු කොරියාවට සම්බාධක පනවා ඇත. උතුරු කොරියාවට සහාය දක්වන ප්‍රධාන රටක් වන්නේ ද චීනයයි. කොරියන් නායකයා චීනයේ බෙයිජීං බලා පැමිණියේ ඔහුට අයත් විශේෂ දුම්රියෙනි.


RECOMMEND POSTS