කෙන්යාව බලා යද්දී ඉතියෝපියා මගී යානයක් කඩා වැටේ

ඉතියෝපියාවේ අඩිස් අබාබා අගනුවර සිට කෙන්යාවේ නයිරෝබි අගනුවර තෙක් පියාසර කරන්න වූ මගී ගුවන් යානයක් අද (10) කඩා වැටුණි.
යානයේ මගීන් 149 දෙනකු ද නියමුවන් සහ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ 8 දෙනකු ද සිටි බව පැවැසෙයි. යානය කඩා වැටී ඇත්තේ එරට වේලාවෙන් අද උදෑසන 8.44 ටය. ඒ, අඩිස් අබාබා ගුවන්තොටුපොළෙන් ගුවන්ගතවී මිනිත්තු කීපයක් යද්දීය.
කඩා වැටුණේ බෝයිං 737 වර්ගයේ යානයකි. යානය කඩා වැටුණේ අබිස් අබාබා අගනුවර සිට කිලෝ මීටර් 60 ක් දුරින් පිහිටි බිෂොෆ්ටූ නගරයට නුදුරින් යැයි ද පැවැසෙයි.
දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් යානය කඩා වැටුණු ස්ථානයට ගිය බවත් යානයේ සිටි සැවොම අනතුරින් මියගොස් ඇති බව ඔවුන් තහවුරු කළ බවත් ඉතියෝපියානු පුවත් සේවා වාර්තා කරයි.
යානය අනතුරට පත්වීම සම්බන්ධ පුවත ප්‍රසිද්ධියට පත් කළේ ඉතියෝපියා අගමැති අබියි අහ්මද්ය. ඒ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි.
යානයේ කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්වෙන බව ද ඉතියෝපියානු ගුවන් සේවය පවසා ඇත.
ඉතියෝපියානු ගුවන් සේවය අප්‍රිකාවේ රටවල් ගණනකට ඔවුන්ගේ ගුවන් සේවය ව්‍යාප්ත කර ඇත. හොඳ සේවාවක් ලබා දීම සහ ආරක්ෂාව අතින් ඉතියෝපියානු ගුවන් සේවය ඇගැයීමට ලක් වී ඇතැයි ද පැවැසෙයි.
මීට පෙර ඉතියෝපියානු ගුවන් සේවයට අයත් ගුවන් යානා අනතුරට ලක්වී ඇත්තේ අවස්ථා දෙකකදීය. 2010 වසරේ දී ඉතියෝපියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් බීරූට් නුවරින් ගුවන්ගත වී මිනිත්තු කීපයක් ගත වෙද්දී, මධ්‍යධරණී මුහුදට කඩා වැටුණි. එම අනතුරින් මියගිය ගණන 90 කි.
1996 වසරේ දී ඉතියෝපියානු මගී යානයක් පැහැර ගැනීමට ලක් විය. යානයේ එක් ඇන්ජිමක් අක්‍රිය වීමෙන් පසු, ඉන්දීය සාගරයට හදිසියේ ගොඩබෑමට නියමුවන් කටයුතු කළ අතර යානයේ සිටි 175 දෙනාගෙන් 123 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මෙම යානය ද යානය අඩිස් අබාබා සිට නයිරෝබි තෙක් පියාසර කිරීමට නියමිතව තිබුණි.
අඩිස් අබාබාහිදීය (ඒ.එෆ්.පී.)

