කෙනඩි ඝාතකයාට පිහි ප්‍රහාරයක්



කෙනඩි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රීහාන් ශ්‍රීහාන්

මීට වසර 51 කට පෙර, ඇමෙරිකන් ජනපති අපේක්ෂක රොබට් එෆ්. කෙනඩි, වෙඩි තබා ඝාතනය කිරීමේ වරදට, ජීවිතාන්ත සිරදඬුවමක් ලැබ බන්ධනාගාරගත කළ 75 හැවිරිදි ශ්‍රීහාන් ශ්‍රීහාන් පිහි ප්‍රහාරයකින් තුවාල ලැබූ බව ඇමෙරිකන් පුවත් සේවා වාර්ත කරයි.

පිහි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ශ්‍රීහාන් ශ්‍රීහාන් ට වෛද්‍ය ආධාර කඩිනමින් ලබා දීමට බන්ධනාගාර නියාමකවරුන් කටයුතු කළේ යැයි පැවැසෙයි.

කැලිෆෝනියා බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවය. ශ්‍රීහාන් ශ්‍රීහාන් රඳවා ඇත්තේ සැන් දියේගෝ නුවරට නුදුරින් පිහිටා ඇති රිචඞ් ජේ ඩොනොවාන් බන්ධනාගාරයේය.

පිහි ප්‍රහාරය එල්ල කර ඇත්තේ තවත් රැඳවියෙකි. ප්‍රහාරයෙන් පසු එම රැඳෙවියා හුදෙකලා කරනු ලැබ ඇති බවත්, සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණයක් සිදු කරන බවත් බන්ධනාගාර නිලධාරීන් වැඩිදුරටත් පවසා තිබේ.

ඇමෙරිකන් ජනපති ධුරය සඳහා අපේක්ෂකත්වය ලැබ සිටි රොබට් එෆ්. කෙනඩි ඝාතනය වූයේ 1968 වසරේ ජූනි 5 වැනිදා ලොස් ඇන්ජලීස් නුවර ඇම්බැසිඩර් හෝටලයේදීය. ඒ, පළමු වටයේ ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන ජනපති අපේක්ෂකත්ව සටනින් ඔහු ජයග්‍රහණය ලබා සුළු වේලාවකින් පසුවය. රොබට් එෆ්. කෙනඩි වෙඩි ප්‍රහාරයට ලක් වූයේ හෝටලයේ මුළුතැන්ගෙය තුළදීය.

රොබට් එෆ්. කෙනඩි වෙඩි ප්‍රහාරයට ලක්ව

වෙඩි තැබීම කළේ යැයි අත්අඩංගුවට ගත් ජෝර්දාන පලස්තීන සම්භයක් සහිත ශ්‍රීහාන් ශ්‍රීහාන් අධිකරණයේදී පුනපුනා පවසා ඇත්තේ, රොබට් එෆ්. කෙනඩිගේ වෙඩි තැබීමේ සිදුවීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවය. 1967 වසරේ සය දින යුද්ධයේදී, රොබට් එෆ්. කෙනඩිගේ සහාය ඊශ්‍රායලයට හිමිවීම නිසා  ඊට විරෝධය දැක්වීමක් ලෙස ශ්‍රීහාන් ශ්‍රීහාන්, රොබට් එෆ්. කෙනඩි ඝාතනය සිදුවුණැයි පොලිස් පරීක්ෂණ වාර්තාවල සඳහන් වී ඇත.

හෝටලයේ මුළුතැන්ගෙය තුළදී වෙඩි ප්‍රහාර තුනකට ලක්වුණු රොබට් එෆ්. කෙනඩිට මියගියේ රෝහල් ගත කර පැය 24 කට පසුවය. රොබට් එෆ්. කෙනඩි යනු ඝාතනයට ලක් වුණු ඇමෙරිකන් ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ බාල සොහොයුරාය. ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි වෙඩි ප්‍රහාරයකින් ඝාතනයට ලක් වූයේ 1963 වසරේදීය.

සැන් දියේගෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS