කිලෝ මීටර් 1,200 ක පයින් ගිය පුතා



රුසියානු යුක්රේන යුද ගැටුම් මැද, අසල්වැසි රටවලට පලා ගිය යුක්රේන සිවිල් වැසියන් ගණන මිලියන 1.7 කි. යුද්ධය යුක්රේන වැසියන්ගේ ජීවිත විනාශ කර දමා අවසන්ය. දේශසීමා හරහා ස්ලොවේකියාවට ආ යුක්රේන වැසියන් අතරේ සිටි අවුරුදු 11 ක පුතකු ගැන පසුගියදා ලොව කාගේත් අවධානයට ලක් විය.

හසාන් නැමැති පුතු යුක්රේන ස්ලොවේකියා දේශසීමාවේ දී සහන සේවකයන් අතට පත් වෙද්දී, ඔහු සතුව තිබුණේ පුංචි බෑග් දෙකක්, ලියුම් කැබැල්ලක්, ගමන් බලපත්‍රයක් සහ ඔහුගේ අතේ 'මාකර් පෑනකින්' ලියූ දුරකතන අංකයක් පමණි.

හසන් පුතුගේ කතාව හද කම්පා කිරීමට සමත් වී අවසන්ය. ඔහු කිලෝ මීටර් 1,200 ක දුරක් තනිවම පයින් ඇවිද ආ බව පැවැසෙයි. ඒ, 'සෙපෝසේයා' බලාගාරය පිහිටි සෙපෝසේයා නගරයේ සිටය. යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය ඇත්තේ යුක්රේනයේය. සෙපෝසේයා බලාගාරය යනු එයයි. පසුගිය සතියේ රුසියන් හමුදා මෙම බලාගාරයට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරමින් එය අත්පත් කර ගත්තේය.

එම අවස්ථාවේදී බොහෝ දෙනා නගරය හැර පලා යෑමට පටන් ගත්තේය. හසන්ට අත්තම්මා කෙනෙකු සිටින අතර ඇය බොහෝ මහලු තැනැත්තියකි. ඇයට ඇවිදින්න හැකියාවක් නැත. හසන්ගේ මවට ඇය තනිකර යෑමට ද හැකියාවක් නැත.

එහෙයින් ඇය තම පුතු ආරක්ෂිතව ස්ලොවේකියා දේශසීමාව වෙත යැවීමට කටයුතු කර ඇත්තේ ස්ලොවේකියාවේ සිටින ඥාතීන්ට ලියුම් කැබැල්ලක් ලියා එය හසාන්ගේ කඩා සාක්කුවට ඔබමිනි. හසන් ස්ලොවේකියාවේ බ්‍රැටිස්ලාවා නුවර ඥාතීන්ට බාර දීමට සහන සේවකයෝ යුහුසුළු වූ අතර යුද්ධයේ කෲරත්වය පසක් කර දෙමින් හසන්ගේ වික්‍රමය ලොවට කීමට බීබීසී පුවත් සේවය සමත් විය.

(බීබීසී)


RECOMMEND POSTS