කිරි ගවයන් වෙන්දේසි කෙරේ

පාකිස්තාන හිටපු අගමැති නවාස් ෂරීෆ්, සිය පෞද්ගලික පරිහරණය සඳහා අගමැති මන්දිරයේ ඇති කළ උසස් ගණයේ කිරි ගවයින් අට දෙනා වෙන්දේසි කිරීමට පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන් කටයුතු කළේය.
කිරි ගවයන් අට දෙනා වෙන්දේසි කෙරුණේ ඉතා ඉහළ මුදලකට යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි. ගවයන් අට දෙනා වෙනුවෙන් පාකිස්තාන රුපියල් ලක්ෂ 23 ක් (ඇමෙරිකන් ඩොලර් 19,000) ලබා ගැනීමට හැකිවුණු බව පැවැසෙයි.
හිටපු අගමැති ෂරීෆ් මෙම කිරි ගවයන් අට දෙනා, ඔහුගේ සහ පවුලේ අයගේ පරිහරණය සඳහා ගෙනවිත් ඇත්තේ 2014 වසරේදීය. උන් නඩත්තු කිරීම වෙනුවෙන් විශාල මුදලක් වැය කර ඇත.
ඉම්රාන් ඛාන් බලයට පත්වී සිටින්නේ රජයේ දූෂණ වංචා නැවැත්වීමට පියවර ගන්නා බවටත්, අනවශ්‍ය වියදම් කපා හරින බවටත් ප්‍රතිඥා දෙමිනි. ගවයන් අට දෙනා වෙන්දේසි කෙරුණේ ඒ අනුවය.
මිල වැඩි යැයි මැසිවිලි නැගුවත් වෙන්දේසියට පැමිණි පිරිස් ගවයන් අට දෙනා මිලදී ගත් බව රජයේ නිලධාරී ජාවිද් ඉක්බාල් මාධ්‍ය හමුවේ පවසා ඇත. ‘වෙන්දේසිය නිකම්ම නිකම් සාර්ථක වුණේ නැහැ. එය අති සාර්ථකයි’ යැයි හෙතෙම මාධ්‍ය හමුවේ කියා සිටියේය.
මිල වැඩි වුවත් ගවයන් මිලදී ගැනීමට ගොවිපොලකරුවන් කටයුතු කර ඇත්තේ, හිටපු අගමැති නවාස් ෂරීෆ් සිහිවීම වෙනුවෙන්, එම ගවයන් සිහිවටනයක් වන බැවින් යැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.
‘මම එක් කිරි ගවයෙක් මිලදී ගත්තා. රුපියල් ලක්ෂ තුනක් වුණා. වෙළෙඳපොළ මිලට වඩා එය තෙගුණයක්. ඒත් මම ගවයා මිලදී ගත්තේ සිහිවටනයක් ලෙස. නවාස් ෂරීෆ්ගේ රජය මතක් වෙන්න’ යැයි හිටපු අගමැති නවාස් ෂරීෆ් හිතවාදී ගොවිපොල හිමිකරුවෙකු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත.
අනවශ්‍ය වියදම් කප්පාදු කරන බවට ප්‍රතිඥා දෙමින්, අගමැති ධුරයට පත් වුණු ඉම්රාන් ඛාන් මාලිගාවක් හා සමාන අගමැති මන්දිරය භාවිතා කරන්නේ නැත. ඔහු අගමැති නිල නිවස ලෙස භාවිතා කරන්නේ හමුදා ලේකම්වරයාගේ නිවස යැයි පැවැසෙයි. අගමැති ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවේදී, ඉම්රාන් ඛාන් එම කුඩා නිල නිවසේ පදිංචියට ගියේ ‘ජනතාව පීඩාවට පත් වී සිටිද්දී තමාට සැප එපා’ යැයි කියමිනි.
අගමැති නවාස් ෂරීෆ් මාලිගාවක් බඳු පාකිස්තාන අගමැති මන්දිරය අධ්‍යාපන ආයතනයක් සහ කෞතුකාගාරයක් බවට පරිවර්තනය කිරීමට පවා සූදානම් වෙයි.
මීට අමතරව, නවාස් ෂරීෆ් විසින් පරිහරණය කරනු ලැබූ අගමැති මන්දිරයට අයත් සැප මෝටර් රථ වෙන්දේසි කිරීමට ද අගමැති ඉම්රාන් ඛාන් මීට සති කීපයකට පෙර කටයුතු කළේය. කිරි ගවයන් වෙන්දේසිය මෙන් නොව, එම මෝටර් රථ වෙන්දේසිය සිතුව තරමට සාර්ථක වූයේ නොවිණි.
(ඒ.එෆ්.පී.)

