කිර්ගිස්තාන අගමැති ඉල්ලා අස්වෙයි

මධ්‍යම ආසියානු රාජ්‍යයක් වන කිර්ගිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ කුබටෙක් බොරෝනෝව් ඉල්ලා අස්වීමත් සමඟ එරට විපක්ෂය බලය අත්පත් කර ගත්තේය.
පසුගිය දින කීපය පුරා කිර්ගිස්තානයේ දැවැන්ත විරෝධතා පැවැත්විණි. විරෝධතාකරුවන් කිර්ගිස්තානයේ බිෂ්කේක් අගනුවර රජයේ ගොඩනැගිලි සහ අමත්‍යාංශවලට කඩා වැදී ඒවා අත්පත් කරගත් බව පැවැසිණි.
කිර්ගිස්තානයේ විරෝධතා ආරම්භ වූයේ, පසුගිය 4 වැනිදා පැවැති මහ මැතිවරණයේ ප්‍රතිඵලය පිළිගැනීමට විපක්ෂ දේශපාලන කණ්ඩායම් කටයුතු කිරීමත් සමගය. මහ මැතිවරණයෙන් යළි ජයග්‍රහණය කළේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන අග්‍රාමාත්‍ය කුබටෙක් බොරෝනෝව් ය.
මැතිවරණ ප්‍රතිඵලය අභියෝගයට ලක් කරමින් විපක්ෂ දේශපාලන කණ්ඩායම් චෝදනා කරන්න වූයේ ඡන්ද අක්‍රමිකතා රැසක් සිදුවුණු බව පෙන්වා දෙමිනි. දිගින් දිගටම එල්ල වූ විරෝධතා හමුවේ, මැතිවරණ ප්‍රතිඵලය අවලංගු කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කළේය. ඒ අනුව, ධුරයෙන් ඉවත් වීමට කිර්ගිස්තාන අග්‍රාමාත්‍ය කුබටෙක් බොරෝනෝව් තීරණය කළේය. අග්‍රාමාත්‍ය බොරෝනෝව් සමග පාර්ලිමේන්තු කතා නායක ඩස්ටාන් ජුමබෙකෝව් ද ඉල්ලා අස්විය.
ඒ අනුව පාර්ලිමේන්තු හදිසි සැසියක් පැවැත්විණි. කිර්ගිස්තාන පාර්ලිමේන්තුව හැඳින්වෙන්නේ ජොගොර්කු කෙනේෂ් මන්ත්‍රණ සභාව යන නමිනි. එහිදී මහජන නියෝජිතයන් ඡන්ද විමසුමක් පවත්වමින්, අග්‍රාමාත්‍ය ධුරය සඳහා විපක්ෂ දේශපාලන පක්ෂයක් වන මෙකෙන්චිල් පක්ෂයේ නායක සදාර් ෂපරෝව් භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කර ගැණින.
මෙකෙන්චිල් දේශපාලන පක්ෂය පිහිටුවීමේ පුරෝගාමියා වන්නේ ද සදාර් ෂපරෝව් ය. 2013 දී රාජ්‍ය නිලධාරීන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත්තැයි චෝදනා ලැබ සදාර් ෂපරෝව්, 2017 දී අත්අඩංගුවට ගැණින. වසර 11 ක සිරදඩුවමක් හිමිවුණු ෂපරෝව් බන්ධනාගාරගතව සිටි අතර, රජයට එරෙහි විරෝධතා උත්සන්න වෙද්දී, සදාර් ෂපරෝව්ගේ ආධාරකරුවෝ බන්ධනාගාරයට කඩා වැදී ෂපරෝව් නිදහස් කර ගත්හ. කිර්ගිස්තානයේ මහ මැතිවරණය පැවැත්වූයේ පසුගිය 4 වැනිදාය. බන්ධනාගාරයේ සිටිද්දී, ෂපරෝව් ඊට ඉදිරිපත් වුවත්, ෂපරෝව් සහ ඔහුගේ මෙකෙන්චිල් දේශපාලන පක්ෂයට අත්වූයේ පරාජයකි.
ඡන්ද අක්‍රමිකාතා සිදුවුණු බවට චෝදනා කරමින්, මෙකෙන්චිල් පක්ෂයේ මෙහෙයවීමෙන් රට පුරා දැවැන්ත විරෝධතා ආරම්භ වූයේ ඉන්පසුවය. ජනතා නොසන්සුන්තා සැලකිල්ලට ගනිමින්, රට අස්ථාවරවීම වැළැක්වීමට මැතිවරණ ප්‍රතිඵලය අවලංගු කිරීමට සිදුවුණු බව මැතිවරණ කොමිසම පැහැදිලි කළේය. ෂපරෝව්, කිර්ගිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ ඒ අනුවය. දින කීපයක් පුරා පැවැති විරෝධතා සහ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයෝ දෙදෙනක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 100 ඉක්මවන අතර පොලිස් අත්අඩංගුවට ගැණුනු පිරිස දහස ඉක්මවයි.
බිෂ්කේක්හිදීය (රොයිටර්)

