කියුබාවේ ළදරුවන්ට ’කොවිඩ් 19’ එන්නත්



කියුබාවේ අවුරුදු 2 ත් 6 ත් අතර වයසේ කාණ්ඩයේ දරුවන් සඳහා 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම ආරම්භ විය. ඒ අනුව, අවුරුදු 2ත් 6ත් වයස් කාණ්ඩයේ දරුවන් සඳහා එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කළ පළමු රට කියුබාවය.

ඇමෙරිකන් සම්බාධකවලින් ද පීඩාවට පත්, මිලියන 11.2 ක ජනගහනයක් වෙසෙන, කොමියුනිස්ට් රාජ්‍ය්‍යක් ද වන කියුබාව, එරට වැසියන් සඳහා ලබා දෙන්නේ එරට විද්‍යාඥයන් එරට තාක්ෂණය යොදා ගනිමින් නිපදවූ 'කොවිඩ් 19' එන්නතය.

එම එන්නත් නම් කර ඇත්තේ 'අබ්ඩාලා' සහ 'සොබර්නා' යනුවෙනි. මේවා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පර්යේෂණ කිසිවක් මෙතෙක් සිදුවී නැති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය පවා යොමු වී නැත. 'අබ්ඩාලා' සහ 'සොබර්නා' යනු ලතින් ඇමෙරිකා කලාපීය රටක නිර්මාණය කළ පළමු එන්නත් දෙකය. කියුබාව අයත් වන්නේ ලතින් ඇමෙරිකා කලාපයටය.

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් කියුබාවේ පාසල් 2020 මාර්තුවේ සිට වසා දමා තිබේ. දරුවන් සියලු දෙනාට එන්නත් ලබා දී කඩිනමින් පාසල් ආරම්භ කරමින්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු යළි සුපුරුදු පරිදි කරගෙන යෑමට කියුබානු රජය බලාපොරොත්තු වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS