කියුබාව චෝදනා ප්‍රතික්ෂේප කරයි



හවානා නුවර රැඳී සිටින තම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට ශබ්ද තරංග යොදා ගනිමින් අදිසි ප්‍රහාරයක් එල්ල වූ බවට ඇමෙරිකාවත් කැනඩාවත් කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව කියුබා රජය කියයි.

ඇමෙරිකාව සහ කැනඩාව එල්ල කරන එම චෝදනා මුළුමනින්ම අසත්‍ය බවත්, ඇමෙරිකාව සහ කැනඩාව, කියුබාව සමඟ පවත්වාගෙන යන ද්වී පාර්ශ්වීක සබඳතා අවුල් කිරීමේ කුමන්ත්‍රණයක් සිදුවෙමින් පවතින බවත් කියුබා රජය වෙනුවෙන් එරට විදේශ ඇමැති බෲනෝ රොජ් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටී.

කියුබාවේ හවානා නුවර ඇමෙරිකන් තානාපති කාර්යාලයේ සේවය කරන නිලධාරීන් සහ කැනඩා තානාපති කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනකු අබිරහස් ලෙස රෝගාතුර වූයේ මීට මාස කිහිපයකට පෙරය.

එම පිරිස අදිසි ‘ශබ්ද තරංග’ ප්‍රහාරයකට ලක් වී ඇතැයි ඇමෙරිකාව පවසා තිබේ. ඒ විශේෂ පරීක්ෂණයක් ද පවත්වමිණි. ඇමෙරිකාව පවසන පරිදි ඔවුන්ගේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු 19 දෙනෙක් මොළයේ ආබාධවලටත් ශ්‍රවණාබාධවලටත් ලක් වී සිටිති.

මිනිස් කණට ඔරොත්තු නොදෙන ශබ්ද තරංග අවියක් ලෙස භාවිත කළ හැකි බවත්, සතුරකු අඩපණ කිරීමට යොදා ගත හැකි එය අදිසි අවියක් බවත් ඇමෙරිකන් ආරක්ෂක අංශ පෙන්වා දෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS