කිම් ජොන් උන් නෙරපන්න උවමනාවක් නෑ



උතුරු කොරියා නායක කිම් ජොන් උන් බලයෙන් නෙරපා දැමීමේ අවශ්‍යතාවක් ඇමෙරිකාවට නොමැති බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ අවධාරණය කරයි.

තමන් උතුරු කොරියා නායකයා අවස්ථා දෙකකදී මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කළ බවත්, එහිදී තමන් ඒ සම්බන්ධයෙන් ඔහුට සහිතකයක් ලබා දුන් බවත් පොම්පේඕ වැඩි දුරටත් කියා සිටී.

මයික් පොම්පේඕ, ට්‍රම්ප්ගේ උපදෙස් පරිදි, උතුරු කොරියාවේ සංචාරය කළේය. පළමු අවස්ථාවේදී ඔහු උතුරු කොරියාවට ගියේ ඇමෙරිකා සී.අයි.ඒ. බුද්ධි අංශ ප්‍රධානියා ලෙසය.

එම හමුවෙන් පසු, ට්‍රම්ප් ඔහු ඇමෙරිකා රාජ්‍ය ලේකම් ධුරයට පත් කළේය. ඉකුත් සතියේ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ලෙස පොම්පේඕ යළි උතුරු කොරියාවේ දෙදින සංචාරයකට ගියේය.

‘උතුරු කොරියා නායක කිම් ජොන් උන් බලයෙන් නෙරපා, රෙජීමයේ වෙනසක් කරන්න ඇමෙරිකාවට උවමනාවක් නැහැ. ඒ බව අප උතුරු කොරියා නායකයාට දැනුම් දුන්නා. ඔහු ජනාධිපති ට්‍රම්ප් සමඟ සාකච්ඡා පවත්වන්න කැමැත්ත පළ කර තිබෙන්නේ ඒ හින්දයි’ යැයි රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ වැඩි දුරටත් කියා සිටී.

මයික් පොම්පේඕ මෙසේ කියා සිටියේ ෆෝක්ස් නිවුස් පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් අතර හමුව ලබන ජූනි 12 වැනිදා පැවැත්වෙයි. ඒ, සිංගප්පූරුවේදීය.

මේ අතර, උතුරු කොරියාව ඇමෙරිකාව සමඟ යහපත් සබඳතා පවත්වන්නේ නම්, උතුරු කොරියාව සමඟ ආයෝජන අවස්ථා ඇති කරගැනීමට තමන් සූදානමි සිටින බව ඇමෙරිකන් පෞද්ගලික සමාගම් පවසා ඇත. ඔවුන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා හරහා මේ බව උතුරු කොරියානු රජයට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS