කැරපොත්තෙක් කළ හදියක්

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නුවර 42 හැවිරිදි කාන්තාවකගේ නාසයෙන් රිංගා ඇගේ ඇස් පිටුපස හිස් කබලේ සැඟවී සිටි කැරපොත්තකු එළියට ගැනීමට වෛද්‍යවරු පසුගිය දා සමත්වූහ.
කැරපොත්තා කාන්තාවගේ නාසයෙන් රිංගා ඇත්තේ ඇය රෑ නිදා සිටියදීය. ඇස් යටින් තදබල වේදනාවක් දැනී හදිසියේ අවදිවුණු ඇය කඩිනමින් ප්‍රතිකාර ලබා ගැනීමට චෙන්නායි රෝහලකට ගොස් ඇත.
වේදනාව ගෙන දුන් හේතුව මුලින් වෛද්‍යවරුන්ට සොයා ගැනීමට නොහැකි විය.
ඒ අනුව, ඇය චෙන්නායි නුවර ස්ටැන්ලි වෛද්‍ය විද්‍යාලයේ විශේෂඥ වෛද්‍යවරුන්වෙත යොමු කෙරුණි. එම අවස්ථාවේදී වෛද්‍යවරු කැමරාවක් යොදා (එන්ඩෝස්කෝප්) පරීක්ෂණයක් සිදු කළහ. කැරපොත්තකු හිස් කබලේ සිරවී සිටිනු දැකීමෙන් ඔවුහු පුදුමයෙන් පුදුමයට පත්වූහ.
ඉන්පසු ‘සක්ෂන්’ (වැකියුම්) ක්‍රමයට කුඩා බටයක් ආධාරයෙන් කැරපොත්තා ඉතා ප්‍රවේසමෙන් එළියට ඇද දැමීමට වෛද්‍යවරු සමත් වූහ. පැය 12 කට වැඩි කාලයක් ගතවී තිබුණ ද ඒ වනවිටත් කැරපොත්තා පණපිටින් සිටි බව වෛද්‍යවරු පවසති.
(එන්.ඩී.ටීවී.)

