කැනඩාවේ ළැව්ගිනි දරුණුයි



කැනඩාවේ ප්‍රාන්ත රැසක දරුණු ළැව් ගිනි පැතිර යමින් පවතී. කැනඩා රජය පැවැසුවේ ළැව් ගිනි හේතුවෙන් මිලියන 100 කට බලපෑම් එල්ල වී ඇති බවය. වසර ගණනාවකට පසු කැනඩාව මුහුණ දෙන දරුණතම ළැව් ගිනි තත්ත්වය මෙය යැයි කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ පවසා ඇත.

කැනඩාවේ ළැව් ගිනි පැතිර යෑම ආරම්භ වූයේ මීට සති කීපයකට පෙර සිටය. වියලි කාලගුණය සහ සුළං හේතුවෙන් ළැව් ගිනි ව්‍යාප්තිය සිදුවෙමින් පවතී. කැනඩා ගිනි නිවන භටයන් ඊයේ (8) පැවැසුවේ පාලනය කළ නොහැකි ළැව් ගිනි 150 ක් මේ වනවිට කැනඩාව පුරා පැතිර යමින් පවතින බවය. ළැව් ගිනි හේතුවෙන් හෙක්ටයාර මිලියන 3.8 ක් සම්පූර්ණයෙන් දැවී අළු වී ගොස් තිබේ.

ළැව් ගිනි හේතුවෙන් නිවාස අහිමි වුණු වැසියන් ගණන 20,000 කට වැඩිය. ළැව් ගිනි දුමාරය කැනඩාව පසු කරමින් ඇමෙරිකාවට පැමිණ ඇති අතර, ඇමෙරිකාවේ නිව්යෝක් නුවර වාතය දූෂණය වීමට එය හේතුවක් යැයි පැවැසෙයි. මේ වනවිට ලොව වායු දූෂණය වැඩිම නගරය බවට පත් වී ඇත්තේ නිව්යෝක්ය.

කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ, කැනඩාවේ මෙසේ ළැව් ගිනි ව්‍යාප්තවීමට හේතුව විපරිත කාලගුණ තත්ත්වයන් බවය. විපරිත කාලගුණ තත්ත්වයන් නිර්මාණය වීමට හේතුව දේශගුණික විපර්යාස බවත්, දේශගුණික විපර්යාස නිර්මාණය වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසා බවත් කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති.

මේ අතර ළැව් ගිනිවලින් බැටකන කැනඩාවට අවශ්‍ය ඕනෑම සහායක් ලබා දීමට ඇමෙරිකාව සූදානම් යැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කැනඩා අග්‍රාමාත්‍ය ටෲඩෝට පවසා තිබේ.


RECOMMEND POSTS