කැනඩා අගමැති ටෘඩෝ කනස්සල්ලෙන්



කැනඩාවට අයත් ඇල්බර්ටා පළාතේ පොලිස් නිලධාරියකු කැනඩාවේ ස්වදේශීය වැසියකුට අමානුෂික අයුරින් පහරදෙන දසුන් එරට සමාජ මාධ්‍ය ඔසසේ ප්‍රසිද්ධියට පත් වීමත් සමඟ කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ඒ ගැන කනස්සල්ල පළ කර තිබේ.

අත්අඩංගුවට ගැණුනු අවස්ථාවේදී පොලිස් නිලධාරියාගේ පහරදීමට ලක් වෙන්නේ, කැනඩාවේ ස්වදේශීය රතු ඉන්දියානු වැසියෙකි. ඔහු ඇලන් ඇඩම් ය.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ පසුගිය මාර් තු 10 වැනිදාය. කැනඩා පුවත් සේවා ඔස්සේත් එම සිදුවීම ප්‍රසිද්ධියට පත් වූයේ ඇමෙරිකාවේ සුළුජාතිකයන්ට එරෙහිව සිදුවන පොලිස් ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් හටගැනීමත් සමඟය.

ඇලන් ඇඩම් ප්‍රහාරයට ලක් වන දසුන් ඇතුළත් වීඩියෝව, පොලිස් නිලධාරීන්ගේ රථයේ ඇති කැමරාවේ පටිගත වී තිබේ. එය මාධ්‍යවෙත ලබා දීම සිදු කර ඇත්තේ පොලිසියයි. ඒ, සිදුවීම හෙලා දකිමිනි.

කැනඩාවේ රාජකීය අශ්වාරෝහක පොලිස් බල ඇණියේ නිලධාරීන් දෙදෙනකු කැසීනෝවක් ඉදිරිපිට දී ඇඩම් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඩම්ගේ මෝටර් රථයේ අංක තහඩුව කල් ඉකුත් වීමේ වරදටය. එම අවස්ථාවේ ඇඩම්ගේ බිරිඳ ද එහි සිටින අතර ඇයට ද මාංචු දමයි. ඇඩම් සහ පොලිස් නිලධාරියා අතරේ බහින්බස් සිදුවෙද්දී, පොලිස් නිලධාරියා මාංචු දමා සිටින ඇඩම්ට පහර දෙයි.

ඇඩම් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ තමන් නිරන්තරයෙන් පොලිසියේ අඩන්තේට්ටම්වලට ලක් වෙන බවය. ඊට හේතුව තමන් ස්වදේශීක සුළු ජාතියකු වීම යැයි ද ඔහු පෙන්වා දෙයි. කැනඩාවේ සුළු ජාතිකයක්ට එරෙහිව සිදුවන පොලිස් ප්‍රචණ්ඩත්වයට තිත තැබිය යුතු බව ද ඇඩම් පවසයි.

කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ මාධ්‍ය හමුවේ කියා සිටියේ ඇලන් ඇඩම්ට පහර දෙන වීඩියෝ දසුන් දුටු විට තමන් කම්පනයට පත් වුණු බවත් පොලිසියේ ක්‍රියා කලාපය කිසිසේත් අනුමත කළ නොහැකි බවත්ය. එම සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් පැවැත්වීමට තමන් උපදෙස් දුන් බව ද කැනඩා අගමැති ටෘඩෝ වැඩි දුරටත් පවසා ඇත.

මෙය තවත් එක් හුදෙකලා සිදුවීමක් පමණක් නොවන බවත්, කැනඩා ස්වදේශීය වැසියන්ගේත් කැනඩා කළු ජාතිකයන්‍ගේත් ජීවත් වීමට ඇති අයිතිය වෙනුවෙන් රජයේ සහ පොලිසියේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට කාලය උදා වී ඇති බවත් කැනඩා අගමැතිවරයා මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.

ඇල්බර්ටා (රොයිටර්)


RECOMMEND POSTS