කාශ්මීර අර්බුදය ගැන පහදයි



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ජාතිය අමතමින්, මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දු කාශ්මීරයට ලබා දී තිබුණු විශේෂ බලතල අහෝසි කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කළේය.

ඉන්දීය අගමැති මෝදි කියා සිටියේ ඉන්දියාවේ පාලනයට නතු කාශ්මීරයට අයත් ජම්මු, කාශ්මීර් සහ ලඩාක් යන පළාත්වල වැසියන්ට ‘නව යුගයක්’ උදා වනු ඇති බවය.

අගමැති මෝදි ජාතිය අමතමින් කළ කතාව එන්.ඩී.ටීවී. ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන රූපවාහිනී සහ ගුවන් විදුලි නාළිකාවල විකාශය කෙරුණි. කාශ්මීරයේ දුරතකන සහ අන්තර්ජාල සබඳතා තාවකාලිකව අත්හිටුවීමට ඉන්දීය රජය පියවර ගෙන ඇත.
ඒ, විශේෂ බලතල අහිමි කිරීම සම්බන්ධයෙන් කාශ්මීර මුස්ලිම් වැසියන් අතරේ නොසන්සුන්තාවක් ඇතිවීම වැළැක්වීමේ අරමුණින්ය. ඉන්දු කාශ්මීරයට අමතර පොලිස් සහ හමුදා බළඇණි යොදවා තිබේ.

පසුගිය 70 වසරක කාලය පුරාවට කාශ්මීරයට විශේෂ බලතල ලැබී තිබුණේ, ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය අනුවය. 370 වැනි වගන්තිය යටතේ, ඉන්දීය පාලනයට නතු කාශ්මීරයට හිමිවී තිබුණේ විශේෂ ස්ථානයකි. ඉන්දු කාශ්මීරයට වෙනම ව්‍යවස්ථාවක් සහ ස්වයං බලතල පවරා දී තිබුණි. ජනතා නියෝජිතයන් ලෙස සහ දේශපාලනඥයන් ලෙස ඉදිරිපත් විය හැකිව තිබුණේ ඉන්දු කාශ්මීරයේ මුස්ලිම් වැසියන්ට පමණි.

ඉන්දු කාශ්මීරයේ ඉඩම් මිලදී ගැනීම, ආයෝජන ඇති කිරීම ආදිය ද කළ හැකිව තිබුණේ ඉන්දු කාශ්මීරයේ මුස්ලිම් වැසියන්ට පමණය. 370 වගන්තිය අහෝසි කිරීමත් සමඟ ඒ සියලු බලතල අහිමි විය. 370 වැනි වගන්තිය අහෝසි වූයේ ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද්ගේ විශේෂ නියෝගයකට අනුවය.

ඉන්දියාවට ප්‍රාන්ත 29 ක් සහ මධ්‍යම රජය යටතේ පවතින පාලන ප්‍රදේශ  (යූනියන් ටෙරටරි) 7 කි. ඉන්දීය ව්‍යවස්ථාවේ 370 වැනි වගන්තිය ක්‍රියාත්මක වෙද්දී, ජම්මු, කාශ්මීර් සහ ලඩාක් පොදුවේ ඉන්දීය පාලනයට නතු කාශ්මීරය වූ නමුත් මින් ඉදිරියට ජම්මු සහ කාශ්මීර් පළාත් මධ්‍යම රජය යටතේ පවතින පාලන ප්‍රදේශ බවටත් ලඩාක් පළාත ජම්මු කාශ්මීර මහාධිකරණයේ බලය යටතේත් පාලනය වෙයි.

ස්වයං බලතල යටතේ ජම්මු කාහ්මීර් සහ ලඩාක් මුසිලිම් වැසියන්ට කිසිදු සෙතක් සැලසී නැති බව අගමැති මෝදි පැහැදිලි කරයි. නව ප්‍රතිස්ංස්කරණ යටතේ කාශ්මීර වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට තම රජය බලාපොරොත්තු වන බව අගමැතිවරයා අවධාරණය කළේය. කාශ්මීරයේ අධ්‍යාපන සහ සෞඛ්‍ය පහසුකම් ඉහළ නැංවීමට ද තම රජය කටයුතු කරනු ඇතැයි අගමැති මෝදි පෙන්වා දුන්නේය.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS