කාබුල් ප්‍රහාරයෙන් මියගිය ගණන 90ක්



තලේබාන් පාලනයට බියෙන්, ඇෆ්ගනිස්තානයෙන් පලා යෑමට උත්සාහ ගන්නා ඇෆ්ගන් සිවිල් වැසියන් කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ඇතුළු වීමට පොරකද්දී, ගුවන්තොටුපොළ අයත් පරිශ්‍රයේ බෝම්බ පිපිරීම් දෙකක් සිදුවිය. එයින් 90 දෙනකු ජීවිතක්ෂයට පත් වුණු අතර තුවාල ලැබූ ගණන 180 ට වැඩිය.

මියගිය 90 දෙනා අතර ඇමෙරිකන් මැරීන් සෙබළුන් 12 දෙනකු සහ නාවික හමුදා වෛද්‍යවරයකු සිටින බවත්, තවත් ඇමෙරිකන් සොල්දාදුවන් 15 දෙනකු තුවාල ලැබූ බවත් පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. බ්‍රිතාන්‍යය පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් ද තුවාල ලැබූවන් අතර සිටින බවය.

පුපුරා ගියේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර දෙකක් බව ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් 'පෙන්ටගනය' පවසා ඇත. බෝම්බ ප්‍රහාර එල්ල වූයේ කාබුල් ගුවන්තොටුපොළට පැමිණීමෙන් වළකින්නැයි, විදෙස් රජයන් ඔවුන්ගේ වැසියන්ට අනතුරු අඟවා තිබියදීය.

එක් බෝම්බයක් පුපුරා ගියේ ගුවන්තොටුපොළ පරිශ්‍රයට අයත්, ගුවන්තොටුපොළ ඉදිරියේ ඇති 'බැරන්' හෝටලයේය. ඒ ඊයේ (26) ඇෆ්ගනිස්තානයේ වේලාවෙන් සවස 6 ට පමණය. බ්‍රිතාන්‍ය නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ඇෆ්ගනිස්තානයෙන් පිටවී බ්‍රිතාන්‍යයට යෑමට උත්සාහ ගන්නා ඇෆ්ගන් සිවිල් වැසියන්ට අදාල ලියකියවිලි බාර දීම සහ ඔවුන් තෝරා ගැනීම සිදුකෙරෙන්නේ මෙම හෝටලයේය. හෝටලයේ ආරක්ෂාවට බ්‍රිතාන්‍ය සොල්දාදුවන් රඳවා තිබේ.
හෝටලයට එල්ල වුණු බෝම්බ ප්‍රහාරයත් සමඟ වෙඩි තැබීමක් ද සිදුවුණු බව පැවැසෙයි.

දෙවැනි බෝම්බය ගුවන්තොටුපළේ 'ඇබී ගේට්' නමැති දොරටුව අසලදී පුපුරා ගියේ වෙඩි තැබීම් සිදුවෙද්දීය. රටින් පිටවීමට ගුවන්තොටුපොළට ඇතුළු වීමට ඇෆ්ගන් වැසියන් ගේට්ටුව ඉදිරියේ සිටි අතර, ඔවුහු ප්‍රහාරයට හසුවූහ. එම සිවිල් වැසියන් මෙහෙයවීමට ඇමෙරිකන් සහ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් යොදවා සිටි අතර, බෝම්බ ප්‍රහාරයට හසුවූයේ ඔවුන්ය.

කාබුල් ගුවන් තොටුපොළට ප්‍රහාරයක් එල්ල වීමට ඉඩ ඇති බව විදෙස් රජයන් කල් තියා අනතුරු ඇඟවීම් කර තිබුණේ බුද්ධි අංශ තොරතුරු අනුවය. බුද්ධි අංශවලට දැනගන්න ලැබී තිබුණේ ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක, 'අයි.එස්.කේ.' නමැති අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සාමාජිකයන් කාබුල් ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයකට සැරසෙන බවටය.

ඇෆ්ගන් තලේබාන් සංවිධානයට අයත් ඇතැම් සන්නද්ධ ත්‍රස්ත කණ්ඩායම්වලට අයි.එස්. ත්‍රස්තවාදීන් පමණක් නොව අල් කයිඩා ත්‍රස්තවාදීන් ද එක් වී සිටින බව ඇමෙරිකන් බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත. මොවුන් ප්‍රධාන තලේබාන් සංවිධානයට කීකරු නොවන බව ද පැවැසෙයි.

මේ වනවිට ඇෆ්ගනිස්තානය අත්පත් කරගෙන සිටින තලේබාන්වරුන් සහ ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමට උත්සාහ ගන්නා ඇමෙරිකන් සොල්දාදුවන් අතරේ යහපත් සබඳතා පවතී. ඇමෙරිකන් සොල්දාදුවන් සීමා වී සිටින්නේ කාබුල් අගනුවර ගුවන්තොටුපොළේ පමණි. ගුවන් තොටුපොළ තුළ තාවකාලික ඇමෙරිකන් හමුදා කඳවුරක් ඇති අතර, තානාපති කාර්යාලයේ කටයුතු සිදුවන්නේ ද එය හරහාය.

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් උත්සාහ ගන්නේ මෙම 31 වැනිදාට පෙර ඇමෙරිකන් හමුදා සියලු දෙනා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගැනීමටය. තලේබාන් පාලනයෙන් බේරී පලා යෑමට උත්සාහ ගන්නා ඇෆ්ගන් සිවිල් වැසියන්ටත්, විදෙස් රාජ්‍ය තන්ත්‍රිකයන් ඇතුළු නිලධාරීන්ටත්, කාබුල් ගුවන් තොටුපොළෙන් පිටවී යෑමේ කටයුතු සලසා දෙන්නේ එහි රැදී සිටින ඇමෙරිකන්, සොල්දාදුවන්ය.

ප්‍රහාරය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියා සිටියේ, සිවිල් වැසියන් ඉවත් කිරීමේ කටයුතු නොකඩවා ඉදිරියට සිදු කරන බවය. ඇමෙරිකන් සොල්දාදුවන් කාබුල් අගනුවරින් ඉවත් කර ගැනීම 31 වැනිදා වනවිට අවසන් කරන බව ද ජනාධිපති බයිඩන් වැඩි දුරටත් පැහැදිලි කළේය. ඇමෙරිකාව ත්‍රස්තවාදීන්ට බය නොමැති බවත්, ප්‍රහාරය එල්ල කළ 'ජිහාද්' ත්‍රස්තවාදීන් ට කිසිදු සමාවක් නොදෙන බවත් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් අවධාරණය කළේය.

මේ වනවිට ඇමෙරිකන් සෙබළුන්ගේ මැදිහත් වීමෙන් ලක්ෂයකට වැඩි ඇෆ්ගන් වැසියන් පිරිසක් විදේශවලට රැගෙන යෑම සිදු වී තිබේ. ඒ, පසුගිය 15 වැනිදා කාබුල් අගනුවර තලේබාන් සංවිධානය අතට පත්වීමෙන් පසුවය.

කාබුල් ගුවන්තොටුපොළ පරිශ්‍රය ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල කළ 'අයි.එස්.කේ.' ත්‍රස්ත කල්ලිය ඇෆ්ගනිස්තානයේ 'කොරසාන්' පළාතෙන් බිහිවුණු ත්‍රස්ත කල්ලියකි. මොවුන් නිල වශයෙන් හැඳින්වෙන්නේ 'ඉස්ලාමික් ස්ටේට් කොරසාන් ප්‍රොවින්ස්' යන නමිනි. මොවුන් ඇෆ්ගනිස්තානයේත් අසල්වැසි පාකිස්තානයේත් ක්‍රියාත්මකය.

ඇෆ්ගනිස්තානයේ තල්බාන් සංවිධානයේ අණට කීකරු නොවන බිහිසුණුම ත්‍රස්ත කල්ලිය ලෙස සැලකෙන්නේ 'අයි.එස්.කේ.' ය. මොවුන් ඇෆ්ගනිස්තානයෙන් බිහිවීම ආරම්භ වූයේ 2015 වසරේදීය. ඒ ඉරාකයේත් සිරියාවේත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත රාජ්‍යය බිහි වෙද්දීය. කෙසේ නමුත් ඇමෙරිකාව ඇතුළු විදෙස් රටවල් එක්වී, 'ඉස්ලාමික් ස්ටේට්' ත්‍රස්ත සංවිධානය අඩපණ කර දැමීය.

අදවනවිට 'අයි.එස්.කේ.' වැනි ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත කල්ලි ලොව රටවල් රැසක ක්‍රියාත්මක වන බව විදෙස් බුද්ධි අංශ පෙන්වා දෙයි. ප්‍රධාන තලේබාන් සංවිධානයේ මතයට ගරු නොකරන තලේබාන් සාමාජිකයන් බොහෝ දෙනකු මෙන්ම පාකිස්තාන ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි සාමාජිකයන් බොහෝ දෙනකු 'අයි.එස්.කේ.' ත්‍රස්ත කල්ලිය සමඟ එක් වී සිටින බව ද පැවැසෙයි. බාලිකා පාසල්, රෝහල් ඉලක්ක කර ගනිමින් පහර දීම් කරන්නේ මෙම 'අයි.එස්.කේ.' ත්‍රස්ත කල්ලියයි.

මීට වසර කීපයකට පෙර, ඇෆ්ගනිස්තානයේ විදෙස් අනුග්‍රහයෙන් පවත්වාගෙන යන මාතෘ රෝහලකට කඩා වැදී ගැබිනි මවුවරුන් වෙඩි තබා ඝාතනය කළේ ද මෙම 'අයි.එස්.කේ.' ත්‍රස්ත කල්ලි සාමාජිකයන් යැයි විදෙස් පුවත් සේවා මතක් කර දෙයි.

'අයි.එස්.කේ.' ත්‍රස්ත කල්ලිය ක්‍රියාත්මක වන්නේ තෙවැනි පාර්ශ්වයක් හරහාය. මෙම තෙවැනි පාර්ශ්වය 'හක්කානි' ත්‍රස්ත ජාලයයි. තලේබාන්වරුන්ට ආයුධ ලබා දීම සහ තලේබාන් සංවිධානයේ මූල්‍ය කටයුතු මෙහෙයවීම කරන්නේ ද මෙම හක්කානී ජාලයයි. මේ වනවිට තලේබාන් පාලනය යටතේ කාබුල් අගනුවර ආරක්ෂාව පැවැරී ඇත්තේ හක්කානි ජාලයේ ප්‍රධානී කහීල් හක්කානිටය. මොහුගේ හිස වෙනුවෙන් ඇමෙරිකාව ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක ත්‍යාගයක් ලබා දෙන බව පවසා ඇත.

(ඩේලිමේල්)

 


RECOMMEND POSTS