කාබන් විමෝචනය අඩු කරන්න ප්‍රතිඥා



වසර 2070 වනවිට කාබන් විමෝචනය අවම කරමින් ඊට ගැලපෙන ආකාරයට රටේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නවා යැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 'කොප්26' සමුළුව අමතමින් ප්‍රතිඥා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිටුදැකීමේ සමුළුව හෙවත් 'කොප්26' සමුළුව පැවැත්වෙන්නේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවරදීය. රටවල් 120 ක රාජ්‍ය නායකයන් සමුළුවට සහභාගී වන අතර එක්සත් රාජධානියේ පැවැත්වෙන විශාලතම රාජ්‍ය නායක සමුළුව වන්නේ ද මෙයයි.

2070 එම ඉලක්කය කරා යෑමේදී ඉන්දියාව 2030 වසරේදී පොසිල ඉන්ධන භාවිතය හැකිතාක් අඩු කරන බවත් සූර්ය බලශක්තිය පමණක් භාවිතයට ගනිමින් මෙගාවොට් 450 ත් 500 ක් අතර විදුලි බලය නිපදවීමට කටයුතු කරනු ඇති බවත් අග්‍රාමාත්‍ය මෝදි වැඩි දුරටත් පැහැදිලි කළේය.

කාබන් විමෝචනය 'ශුන්‍ය' කිරීමේ අරමුණින් ඉන්දියාව පමණක් නොව, ලොව බලවත් මෙන්ම ධනවත් රටවල් රැසක් ද ඔවුන්ගේ ඉලක්ක සමුළුවට ඉදිරිපත් කළේය. චීන ජනාධිපති ෂී ජින්පින් හෝ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හෝ ග්ලාස්ගෝව් බලා පැමිණ සිටියේ නැත.

එසේ වුවත් චීනය 'කොප්26' සමුළුවට පෙන්වා දී ඇත්තේ වසර 2060 වෙද්දී කාබන් විමෝචනය අඩු කර ගැනීමට කටයුතු කරන බවය. ඇමෙරිකාව සහ යුරෝලා සංගමය සමුළුවට අවධාරණය කර ඇත්තේ 2050 වසර වෙද්දී ඔවුන් මෙම ඉලක්කය කරා ළඟා වනු ඇති බවය.

(ඒ.ඒෆ්.පී.)


RECOMMEND POSTS