ක්‍රිස් හිප්කින්ස් දිවුරුම් දෙයි



නවසීලන්තයේ පාලක කම්කරු පක්ෂයේ නායකත්වයට පත්වුණු ක්‍රිස් හිප්කින්ස් නවසීලන්ත අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දී සිය රාජකාරි ආරම්භ කළේය.

නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. හිප්කින්ස් පක්ෂ නායකත්වයට සහ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ පක්ෂ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ජැසෙන්ඩා එර්ඩර්න් ඉල්ලා අස්වීමත් සමඟය.

42 හැවිරිදි ජැසෙන්ඩා එර්ඩර්න්, පක්ෂ නායනත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට තීරණය කළේ පසුගිය සතියේය. ඒ අග්‍රාමාත්‍යවරයා ලෙස රාජකාරි කිරීමේ පීඩනය දරා ගැනීමට නොහැකි බව පෙන්වා දෙමිනි.

ඉන්පසු කම්කරු පක්ෂය පක්ෂ නායකත්වයට සුදුස්සකු තෝරා ගත් අතර, 44 හැවිරිදි ක්‍රිස් හොප්කිස්න්ස් එකම සුදුස්සා විය. නිතරගයෙන් හිප්කින්ස් පක්ෂ නායකත්වයට පත් වුණු අතර, ඔහු නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දී රාජකාරී ආරම්භ කළේය. දිවුරුම් දීම සිදුවූයේ වෙලිංටන් අගනුවරදී, ආණ්ඩුකාරවරයා ඉදිරියේය.

‘මෙය මට ලැබුණු ලොකු වගකීමක්. ලොකු ගෞරවයක්. ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න මා සූදානම්’ යැයි නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් පසු හිප්කින්ස් පැවැසුවේය.

ජැසෙන්ඩා එර්ඩර්න්, අග්‍රාමාත්‍ය ධුරයට සමුගත්තේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අභියස සිට ජනතාව අමතමිනි. ඇයට සමු දීමට මැති ඇමැතිවරුන් ඇතුළු සියයකට වැඩි පිරිසක් පාර්ලිමේන්තු භූමියට රැස්ව සිටි බව මාධ්‍ය වාර්තා කර තිබේ.

අග්‍රාමාත්‍ය ධුරයෙන් සමුගත් අවස්ථාවේදී ජැසෙන්ඩාට රාජ්‍ය නායකයන් ද ඇතුළු බොහෝ දෙනකුගෙන් සුබ පැතුම් ලැබුණි. රැස්ව සිටි පිරිස ඇමැතීමෙන් පසු ජැසෙන්ඩා නික්ම ගියේ ඉතා හැඟීම්බරවය.

පක්ෂ නායකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ද සමුගෙන දේශපාලනයෙන් විශ්‍රාම ගිය ජැසෙන්ඩා, ඇගේ සහකරු කාල්ක් ගේෆීල්ඞ් සමඟ විවාහ වීමට බලාපොරොත්තු වෙයි.

පසුගිය 2022 වසරේ දෙදෙනා විවාහ වීමට සූදානමින් සිටි නමුත් ‘කොවිඞ් 19’ වසංගතට හේතුවෙන් සෞඛ්‍ය අංශ පනවා තිබූ සීමා තහංචි ඊට එරෙහි විය. ඒ අනුව, විවාහ මංගල උත්සවය කල් දැමුණි. ජැසෙන්ඩා සහ කාල්ක් ගේෆීල්ඞ්ට සිවුහැවිරිදි දියණියක සිටී.

දේශපාලනයෙන් විශ්‍රාම යන තමන් දියණියගේ අධ්‍යාපන කටයුතු සඳහා යොමු වෙන බව පවසා තිබේ. අග්‍රාමාත්‍ය ධුරයේ සිටිද්දී දරුවකු ප්‍රසූත කළ පළමු අග්‍රාමාත්‍යවරිය ලෙස ඉතිහාසයට එක් වූයේ ද ජැසෙන්ඩාය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS