ඕස්ටේ‍්‍රලියාව 2021 තෙක් වසා දැමේ



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය පාලනය කර ගැනීමට රජය සමත් වුවත්, වයිරසය හේතුවෙන් තවමත් අවදානමක් පවතින බැවින්, හදිසියේ රට විවෘත නොකරන බවත්, ලබන වසර එනම් 2021 තෙක් දේශසීමා වසා දැමෙනු ඇති බවත්  ඕස්ටේ‍්‍රලියා සංචාරක කටයුතු පිළිබඳ ඇමැති සයිමන් බි‍්‍රමින්හැම් පවසයි.

ඒ අනුව, ලබන වසර වනතුරු  ඕස්ටේ‍්‍රලියාවට යෑමටත්  ඕස්ටේ‍්‍රලියාවෙන් පිටවීමටත් නොහැකි වනු ඇතැයි සංචාරක ඇමැතිවරයා පැහැදිලි කළේය.

‘මා දන්නවා වයිරසය හේතුවෙන් පැනැවූ තහංචි නිසා අපේ ගුවන් සේවය කඩා වැටිලා. සංචාරක කර්මාන්තය කඩා වැටිලා. ව්‍යාපාර කඩාවැටිලා. අප කාටත් ඉදිරියේ දී අසීරුතා රැසකට මුහුණ දෙන්න සිදුවෙනවා. වයිරස අවදානම අවම කර ගැනීමට සෞඛ්‍ය අංශ සමත් වී තිබෙනවා. ඒක සතුටට කරුණක්. ඒත් ව්‍යාපාරික ප‍්‍රජාවගේ ඉල්ලීමට පමණක් කන් දෙමින් දේශසීමා තහංචි ඉවත් කරන්නේ නැහැ.’ යැයි බි‍්‍රමින්හැම් පෙන්වා දුන්නේය.

ඕස්ටේ‍්‍රලියාවෙන් වාර්තා වී ඇති ‘කොවිඞ් 19’ ආසාදිතයන් ගණන 7,367 කි. මරණ 102 ක් වාර්තා වේ. සුවය ලබා රෝහල්වලින් පිටවී ගිය පිරිස 6,870 කි. ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයෙනි. මුල් අවස්ථාවේදීම,  ඕස්ටේ‍්‍රලියාවෙන් ද ආසාදිතයන් වාර්තා වීමට පටන් ගත්තේය. ඒ අනුව,  ඕස්ටේ‍්‍රලියා රජය දේශසීමා වසා දැමීමට කටයුතු කළේය. ගුවන් ගමන් සියල්ල නවතා දැමුණි.

ඕස්ටේ‍්‍රලියා ප‍්‍රාන්ත අතර දේශසීමා ද වසා දැමුණු නමුත් වයිරස වයාප්තිය කෙමෙන් අඩු වී යද්දී, ප‍්‍රාන්ත දේශසීමා යළි විවෘත කෙරුණි. දෛනික කටයුතු අදියරෙන් අදියර ඇරැුඹුණු අතර පාසල් ද යළි විවෘත කෙරුණි. සමාජ දුරස්ථභාවය රැක ගනිමින්, සෞඛ්‍ය උපදෙස් පිළිපඳිමින් කටයුතු කරන්නැයි  ඕස්ටේ‍්‍රලියා අග‍්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ජනාතවට දැනුම් දී ඇත.

මෙල්බර්න්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS