ඕස්ටේ්රලියා අගමැති සමාව ගනී

ළැව් ගිනි උත්සන්න වී, රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් වෙද්දී, නිවාඩුවකට හවායි බලා යෑම සම්බන්ධයෙන්, ජනතාවගෙන් සමාව ඉල්ලීමට ඕස්ටේ්රලියා අගමැති ස්කොට් මොරිසන්ට සිදුවිය.
අගමැති ස්කොට් මොරිසන් පවුලේ අය ද සමඟ හවායි බලා ගොස් සිටියේ ඉකුත් සති අන්තයේය. ළැව් ගිනි හේතුවෙන් පීඩාවට පත්වුණු ඕස්ටේ්රලියානුවන්ගෙන් සහ විපක්ෂ දේශපාලනඥයන්ගෙන් විචේචන එල්ල වෙද්දී, නිවාඩුව අතරමඟ නවතා දමා අගමැති මොරිසන් යළි ඕස්ටේ්රලියාවට පැමිණියේය. ඉන්පසු ඔහු මාධ්‍ය හමුවක් කැඳවමින්, ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියේය.
පසුගිය සති අන්තයේ අගමැති මොරිසන් පවුලේ අය ද සමඟ හවායි බලා ගිය බව බොහෝ දෙනකු දැන සිටියේ නැතැයි ද පැවැසෙයි. අගමැති මොරිසන් නිවාඩුවට ගියේ නියෝජ්‍ය අගමැති මයිකල් මැක්කෝමැක් ට බලය පවරමිනි.
‘මා ඔබ සැමගෙන් සමාව ඉල්ලීමක් කරනවා. ඔබ සැම පීඩාවට පත් වී සිටි අවස්ථාවක මා පවුලේ අය සමඟ නිවාඩුවක් ගත කරන්න ගියා. ඒ ගැන සිත් තැවුලක් ඇති කරගත් සැමගෙන් මා සමාව අයැද සිටිනවා’ යැයි අගමැති මොරිසන් මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය.
සිඞ්නි නුවරදීය (ඒ.එෆ්.පී.)

