ඔස්ට්‍රේලියා නියෝජ්‍ය අගමැති ගෙදර යයි



ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන්, ඔස්ට්‍රේලියා නියෝජ්‍ය අගමැති බර්නබී ජොයිස් ඇතුළු තවත් දේශපාලනඥයන් තිදෙනකුට ඔවුන්ගේ තනතුරු අහිමි විය.

නියෝජ්‍ය අගමැතිවරයාට එම ධුරයත්, සෙසු දේශපාලඥයන් තිදෙනාට ඔවුන්ගේ තනතුරුත් අහිමි වූයේ ඔස්ට්‍රේලියා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවකට අනුවය.

ඔස්ට්‍රේලියාවේ ව්‍යවස්ථාවට අනුව, ද්විත්ව පුරවැසිභාවය ඇති අයකුට එරට දේශපාලනයට පිවිසිය නොහැකිය. තීන්දුව ලබා දෙමින්, ඔස්ට්‍රේලියා ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ නියෝජ්‍ය අගමැති ධුරයට බර්නබී ජොයිස් සුදුසු නැති බවය. ශ්‍රේෂ්ඨාධිරණ තීන්දුවට ගරු තරමින්, ඊට හිස නමා තමා ධුරය අත්හරින බව බර්නබී ජොයිස් මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

බර්නබී ජොයිස් නවසීලන්ත පුරවැසියකු ද වෙයි. ඒ ඔහුගේ නවසීලන්ත ජාතික පියා නිසාය. පියා නවසීලන්ත පුරවැසියකු නම්, දරුවන්ට ඉඹේටම රටේ පුරවැසිභාවය හිමිවෙයි. ඔස්ට්‍රේලියා පුරවැසියකු වන බර්නබී ජොයිස් නවසීලන්ත පුරවැසිභාවය හිමිවූයේ  ඒ අනුවය. එය සිදුවූයේ පසුගිය අගෝස්තු මාසයේදීය.

ජොයිස් එම පුරවැසිභාවය ප්‍රතික්ෂේප කර ඇති බව ද පැවැසෙයි. නියෝජ්‍ය අගමැති ධුරයෙන් ඉවත් වෙමින් බර්නබී ජොයිස් කියා සිටියේ තමා පුරවැසිභාවය ප්‍රතික්ෂේප කළ නිසා ඉදිරියේ දී පැවැත්වෙන අතුරු මැතිවරණයකින් යළි දේශපාලනයට පැමිණීමට කටයුතු කරන බවය. ඒ, පහළ මන්ත්‍රී මණ්ඩලයේ අසුනක් වෙනුවෙන් තරග කරමිනි.

නියෝජ්‍ය අගමැති ලෙස බර්නබී ජොයිස් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඔස්ට්‍රේලියා රජය අර්බුදයකට ලක් වී ඇත. ඒ, එහි ස්ථාවරභාවය සම්බන්ධයෙන් යැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS