ඔමික්‍රෝන්-ඩෙල්ටා මුසුවී සුපිරි විකෘතියක්



'ඩෙල්ටා' සහ 'ඔමික්‍රෝන්' කොවිඩ් 19 වයිරස විකෘති එකිනෙක මුසුවී 'සුපිරි කොවිඩ් 19' වයිරස විකෘතියක් නිර්මාණය වීමට හැකියාව ඇතැයි ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ වයිරස විශේෂඥ පීටර් වයිට් අනතුරු අඟවයි.

පීටර් වයිට් මෙසේ අනතුරු ඇඟවූයේ, 'ඔමික්‍රෝන්' විකෘතියේ බලපෑම සම්බන්ධයෙන් 'ට්විටර්' සමාජ මාධ්‍ය ඔස්සේ පැවැත්වූ විද්වත් හමුවකට සහභාගී වෙමිනි.

'ඔමික්‍රෝන්' ආසාදිතයකුට 'ඩෙල්ටා' හෝ 'ඩෙල්ටා' ආසාදිතයකුට 'ඔමික්‍රෝන්' හෝ ආසාදනය වුවහොත්, එම විකෘති මුසුවී සුපිරි විකෘතියක් නිර්මාණය වීමටත් එම විකෘතිය වඩාත් බිහිසුණු එකක් වීමටත් ඉඩ ඇති බව පීටර් වයිට් පැහැදිලි කර තිබේ.

විද්වත් සාකච්ඡාව මෙහෙයවීම කළේ ඇමෙරිකාවේ 'බ්ලූම්ස්බර්ග්' මාධ්‍ය ජාලයේ මාධ්‍යවේදිනී ඉන්දීය සම්භවයක් සහිත අන්ජානී ත්‍රිවාඩි ය. ඕස්ට්‍රේලියාවේ ටවුන්ස්විල් ජේම්ස් කුක් විශ්ව විද්‍යාලයේ වයිරස විශේෂඥවරියක වන ස්ටෙපනී ටොප් ද මෙම සාකච්ඡාවට එක් වී සිටියාය.

'ඔමික්‍රෝන්' වැනි විකෘතියක් බිහිවිම ගැන තමන් මවිතයට පත් නොවන බවත්, වයිරසවල ස්වභාවය එසේ විකෘතිවීම බවත් පීටර් වයිට් පෙන්වා දුන් අතර, ස්ටෙපනී ටොප් ද එම අදහස අනුමත කළාය. 'ඔමික්‍රෝන්' විකෘතියට 'ඩෙල්ටා' විකෘතියේ ඇති සියලු විකෘති පමණක් නොව, අමතර විකෘති ද රැසක් අන්තර්ගත බව මේ වනවිට තහවුරු වී ඇත.

'ඔමික්‍රෝන්' පළමුවෙන් හඳුනා ගැනීම කළේ පසුගිය නොවැම්බර් මාසයේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වාර්තා අනුව, මේ වනවිට 'ඔමික්‍රෝන්' විකෘතිය රටවල් 89 කට ව්‍යාප්ත වී ඇත. 'ඔමික්‍රෝන්' වයිරසයේ ගති ලක්ෂණ අනුව, එය 'ඩෙල්ටා' විකෘතියට වඩා ඉක්මනින් ව්‍යාප්ත වෙයි. එමෙන්ම, පිටපිට ආසාදනය වීමේ හැකියාව ද ඇත. එන්නත් කාර්යක්ෂමතාව ද අඩු කරන බව හෙළි වී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS