ඒඞ්ස් රෝගියකුගෙන් එච්.අයි.වී. තුරන් කෙරේ



එංගලන්තයේ ලන්ඩන් නුවර ඒඞ්ස් රෝගියකුගේ සිරුරින්, ‘එච්.අයි.වී.’ වයිරසය තුරන් කිරීමට, ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් සමත් වී ඇති බවත්, ඒඞ්ස් රෝගියකුගේ සිරුරින් ‘එච්.අයි.වී.’ වයිරසය මෙසේ තුරන් කළ දෙවැනි අවස්ථාව මෙය බවත් විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

‘ඒඞ්ස්’ යනු මානව ප්‍රතිශක්ති ඌනකාරක වයිරසය (එච්.අයි.වී.) මගින් සිරුරේ ප්‍රතිශක්තිකරන පද්ධතිය අඩපණ කරමින් ඇති කරන රෝගී තත්ත්වයයි. ‘ඒඞ්ස්’ රෝගියකු වන්නේ එච්.අයි.වී. ශරීර ගතවීමෙනි.

වෛද්‍යවරුන් සමත් වී ඇත්තේ, එච්.අයි.වී. වයිරසය ඒඞ්ස් රෝගියාගේ සිරුරෙන් විනාශ කිරීමය. මෙයින් අදහස් වන්නේ ඒඞ්ස් රෝගීන් වෙනුවෙන් ප්‍රතිකර්මයක් සොයා ගැනීම නොවන බව ද වෛද්‍යවරුන් පැහැදිලි කර තිබේ.

ලන්ඩනයේ පදිංචිකරුවකු වන මෙම ඒඞ්ස් රෝගියාගේ සිරුරින් වෛද්‍යවරුන් එච්.අයි.වී. වයිරසය තුරන් කර ඇත්තේ, වසර දෙකක කාලයක් පුරාවට, එච්.අයි.වී. වයිරසයට ප්‍රතිරෝධය දක්වන පුද්ගලයකුගේ ‘කඳ සෛල’ ඒඞ්ස් රෝගියාගේ සිරුරට ඇතුළු කරමින් සහ ප්‍රතිජීවක ලබා දීමෙනි.

ලන්ඩන් ඒඞ්ස් රෝගියාගේ නම අනාවරණය කර නොමැති අතර, මෙම තැනැත්තා ඒඞ්ස් රෝගියකු බව හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කර ඇත්තේ 2003 වසරේ සිටය.

ලන්ඩනයේදීය (රොයිටර්ස්)

 


RECOMMEND POSTS