එන්නතේ සාර්ථකත්වය හිතාමතා ප්‍රමාද කළා



‘කොවිඩ් 19’ වයිරසය ආසාදනය වීම වැළැක්වීමට ජර්මනියේ ‘බයෝ එන් ටෙක්’සහ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ සමාගම් සාර්ථක එන්නතක් නිපදවූයේ ඇමෙරිකන් ජනාධිපතිවරණයට පෙර බවත්, ඖෂධ සමාගම් ජනාධිපතිවරණය අවසන් වනතුරු එය අනාවරණය නොකිරීමට තීරණය කර තිබුණු බවත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකාවේ කොරෝනා වසංගත තත්ත්වයක් නිර්මාණය වූයේ ට්‍රම්ප්ගේ වරදින් යැයි චෝදනා එල්ල වී තිබේ. ට්‍රම්ප් සෞඛ්‍ය උපදෙස් තැකීමක් නොකළ අතර, මුහුණු ආවරණ පැලඳීම පවා ප්‍රතික්ෂේප කළේය. ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ද කොරෝනා වසංගත තත්ත්වයයි.

කෙසේ නමුත් ජර්මනියේ ‘බයෝ එන් ටෙක්’ සමාගමට මුදල් ලබා දී, ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ ඊට සම්බන්ධ කරමින් ඇමෙරිකානුවන් වෙනුවෙන් කොරෝනා මර්දන එන්නතක් නිපදවන්නැයි උපදෙස් ලබා දීම කළේ ජනපති ට්‍රම්ප්ය.

ඇමෙරිකන් ජනාධිපතිවරණය පැවැත්වූයේ පසුගිය නොවැම්බර්  3 වැනිදාය. නොවැම්බර් පළමු වැනිදා වනවිට ජර්මනියේ ‘බයෝ එන් ටෙක්’ සහ ඇමෙරිකාවේ ‘ෆයිසර්’ ඖෂධ සමාගම් එක් ව නිපදවූ එන්නත සාර්ථක වී තිබුණි. තමන් ඒ බව ඇමෙරිකානුවන්ටත් ලොවටත් ප්‍රසිද්ධ කිරීමට උත්සාහ කළ නමුත් ජෝ බයිඩන්ට සහාය දක්වන ප්‍රබලයන් සහ මාධ්‍ය ආයතන බොහොමයක් එය වැළක්වූ බවට ට්‍රම්ප් චෝදනා කරයි. ‘බයෝ එන් ටෙක්’ සහ ‘ෆයිසර්’ ඖෂධ සමාගම් ඔවුන්ගේ එන්නත සාර්ථක බව ජනපතිවරණයට පෙර නිවේදනය කළේ නම්, එය සැබැවින්ම ට්‍රම්ප්ට වාසියක් වීමට ඉඩ තිබුණු බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS