එන්නත ලබාගත් වෛද්‍යවරයෙක් මියයයි

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් සහ ඇස්ට්‍රා සෙනෙකා ඖෂධ නිෂ්පාදන සමාගමේ වෛද්‍ය පර්යේෂකයන් එක් වී නිපදවා ඇති, තවමත් පර්යේෂණ මට්ටමේ පවතින, කොරෝනා මර්දන එන්නත ස්වේච්ඡාවෙන් ලබා ගත් බ්‍රසීල ජාතික වෛද්‍යවරයකු මියයෑමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ.
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය මර්දනය කිරීමට රුසියාව එන්නත් දෙකක් ද චීනය එක් එන්නතක් ද හඳුන්වා දී ඇති අතර, අවසන් සායනික අත්හදා බැලීම් සිදු කරන අතරතුරේ ඒවා ජනතාවට ලබා දීම ආරම්භ කර ඇත. රුසියානු සහ චීන වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, එම එන්නත්වලින් කිසිදු අතුරු ආබාධයක් නැති බවය.
ආරක්ෂිත මෙන්ම සාර්ථක එන්නතක් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා විශ්වාසය තබා ඇත්තේ මෙම ඔක්ස්ෆර්ඩ් එන්නත කෙරෙහිය. පර්යේෂණ මට්ටමේ පවතින ඔක්ස්ෆර්ඩ් එන්නත, බ්‍රිතාන්‍යයේ පමණක් නොව, තවත් රටවල් කීපයක ද අත්හදා බලමින් පවතී. එන්නත අත්හදා බැලීම සිදුවන්නේ එම රටවල සෞඛ්‍ය අමත්‍යාංශයේ අධීක්ෂණය යටතේය. එන්නත් නිපදවීම සිදුවන්නේ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමටය. වයිරසය ආසාදනය වූ අයකුට එන්නත විදීමෙන් පලක් නොවෙයි.
බ්‍රසීල සෞඛ්‍ය අමත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ස්වේච්ඡාවෙන් එන්නත ලබා ගැනීමට ඉදිරිපත් වන පුද්ගලයන් තෝරා ගනිමින් එන්නත ලබා දී ඇත. බ්‍රසීල රජය සහ සෞඛ්‍ය අංශ පෙන්වා දෙන අන්දමට මියගොස් ඇත්තේ එසේ එන්නත ලබා ගත් ජෝහා පේද්රෝ නමැති 28 හැවිරිදි වෛද්‍යවරයාය.
බ්‍රසීල සෞඛ්‍ය අමත්‍යාංශය වෛද්‍ය ජෝහා පේද්රෝගේ මරණය සම්බන්ධයෙන් සියලු වාර්තා ඔක්ස්ෆර්ඩ් පර්යේෂකයන්ය යොමු කර ඇති බවත් සිදුවුණේ කුමක්දැයි යන්න සොයා බැලීම ආරම්භ කළ බවත් පෙරේදා (20) වාර්තා විය.
ඊයේ (21) ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් සහ ඇස්ට්‍රා සෙනෙකා ඖෂධ නිෂ්පාද සමාගම නිකුත් කළ නිල නිවේදනයේ දැක්වූයේ, බ්‍රසීල සෞඛ්‍ය අංශ තමන් වෙත එවනු ලැබූ එන්නත ස්වේච්ඡාවෙන් ලබා ගන්නා බව පැවැසූ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවේ වෛද්‍ය ජෝහා පේද්රෝගේ නම සඳහන් නොවූ බවය.
ඔහුට එන්නත ලබා දී ඇත්තේ, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ කිසිදු වාර්තාවක් තමන්ට ඉදිරිපත් නොකර බවත් ඔක්ස්ෆර්ඩ් වෛද්‍ය පර්යේෂකයන් වැඩිදුරටත් පවසා ඇත. කෙසේ නමුත් සිදුවීම සම්බන්ධයෙන් පුළුල් ලෙස සොයා බලන බවත්, එන්නත අත්හදා බැලීම් නවත්වන්නේ නැති බවත් ඔක්ස්ෆර්ඩ් පර්යේෂකයෝ වැඩි දුරටත් කියා සිටිති.
ඩේලිමේල් ඇසුරිනි

