එන්නත දරුවන්ට සුදුසුදැයි අත්හදා බලනවා

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වීම වැළැක්වීමට ඇමෙරිකාවේ ‘මොඩර්නා’ ජෛව තාක්ෂණ සමාගම නිපදවා ඇති එන්නත, කුඩා දරුවන්ට සුදුසුදැයි සෙවීමේ පර්යේෂණ මේ වනවිට ආරම්භ කර ඇතැයි එම සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඒ අනුව එන්නත අත්හදා බැලීම සිදුවනු ඇත්තේ දින 28 ක කාලයක් ඇතුළත අවුරුදු 12 ත් 17 ත් වයස් කාණ්ඩයේ දරුවන් 3,000 දෙනකු සම්බන්ධ කර ගනිමින් යැයි ‘මොඩර්නා’ සමාගම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.
මේ වනවිට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට නිපදවා ඇති එන්නත් කිහිපය අතරින් ‘මොඩර්නා’ එන්නත කැපී පෙනෙයි. එන්නත සායනික වශයෙන් අත්හදා බැලීම් සිදු කර ඇත්තේ අවුරුදු 18 වැඩි සහ 65 ට අඩු වයස් කාණ්ඩයේ පසුවන නිරෝගී පුද්ගලයන්ට ලබා දීමෙනි. ‘මොඩර්නා’ එන්නතේ සාර්ථකත්වය සියයට 94.5 ක් බව පැවැසෙයි.
මාත්‍රා දෙකකින් සමන්විත එන්නත, ලබා ගත් පුද්ගලයන්ගේ සිරුරේ වයිරසයට එරෙහිව ප්‍රතිශක්තියක් ඇති වුණු බවත්, අතුරු ආබාධ කිසිවක් වාර්තා නොවුණු බවත් ‘මොඩර්නා’ පර්යේෂකයෝ කියති.
කොරෝනා වයිරසය ආසාදනය වැළැක්වීමට නිපදවා ඇති එන්නත් තවමත් කුඩා දරුවන්ට ලබා දී නැති අතර, කුඩා දරුවන් යොදා ගනිමින් සායනික අත්හදා බැලීම් ද සිදු කර නැත. කුඩා දරුවන් යොදා ගනිමින් සායනික අත්හදා බැලීම් කිරීමට සූදානම් වන පළමු එන්නත ලෙස සැලකෙන්නේ ‘මොඩර්නා’ එන්නතය.
‘මොඩර්නා’ සමාගමට අමතරව නිපදවා ඇති සෙසු එන්නත් වන්නේ ‘ෆයිසර් එන්නත, ‘ඔක්ස්ෆර්ඞ්’ එන්නත, රුසියාවේ ‘ස්පුට්නික් 5’ එන්නත සහ චීනයේ ‘සිනොවැක්’ එන්නතය. ඊට අමතරව, රුසියාව සහ චීනය තවත් එන්නත් කීපයක් නිපදවා ඇතැයි ද පැවැසෙයි. කෙසේ නමුත් මෙම එන්නත් කිසිවක් සඳහා තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පූර්ණ අනුමැතිය ලැබී නැත. එන්නත් ඒ ඒ රටවල වැසියන්ට ලබා දීම ආරම්භ කර ඇත. කෙසේ නමුත් මෙම එන්නත් කිසිවක් කුඩා දරුවන්ට ලබා දෙන්නේ නැත.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත්තේ, එරට ‘ස්පුට්නික් 5’ එන්නත ලබන සතියේ සිට රුසියානුවන්ට මහා පරිමාණයෙන් ලබා දීමට පියවර ගන්නා බවය. ඔක්ස්ෆර්ඞ් විද්‍යාඥයන් ඔවුන්ගේ ‘කොවිඞ් 19’ වයිරසයට එරෙහි එන්නත නිපදවන්නේ ‘ඇස්ට්‍රා සෙන්කා’ ඖෂධ නිෂ්පාදන සමාගම සමඟ එක් වෙමිනි. මෙම එන්නත අවුරුදු 65 ට වැඩි වැඩිහිටියයන්ගේ සිරුරේ ප්‍රතිශක්තිය ඇති කිරීමට සමත් වී ඇති බව අත්හදා බැලීම්වලදී පෙනී ගොස් තිබේ.
වොෂින්ටනයේදීය (රොයිටර්)

