උමගේ සිරවුණු කම්කරුවන් බේරා ගැනීම තවදුරටත් ප්‍රමාදයි



දින 16 ක් තිස්සේ ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ උමං මාර්ගයක් තුළ සිරවී සිටින කම්කරුවන් 41 දෙනා මුදා ගැනීම තව දුරටත් ප්‍රමාද වනු ඇතැයි දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි.

උමං මාර්ගයට සමාන්තරව, සිදුරක් විද එය හරහා සිරවුණු පිරිස පිටතට ගැනීමට කටයුතු කරමින් සිටියදී, එම සිදුර විදීමට යොදාගත් විදුම් යන්ත්‍රය අක්‍රිය වූ බවත්, කම්කරුවන් බේරා ගැනීම ප්‍රමාද වන්නේ එබැවින් බවත් දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පැහැදිලි කර තිබේ.

උත්තරකාන්ද් ප්‍රාන්ත රජයේ ඉල්ලීම පරිදි, ඉන්දීය හමුදාවේ ද සහාය දිවි ගලවා ගැනීමේ කණ්ඩායම්වලට හිමිවන බව ද පැවැසෙයි. කෙළිනම පහළට සිදුරක් විද සිරවුණු කම්කරුවන් මුදා ගැනීම කෙරෙහි ද මේ වනවිට අවධානය යොමු වී ඇතැයි ද වාර්තා වේ.

උමගේ පිවිසුම් කොටස කඩා වැටීමෙන් කම්කරුවන් ඒ තුළ සිරවූයේ පසුගිය 12 වැනිදාය. සිරවුණු කම්කරුවන් අතරේ, බිහාර්, ජර්කාන්ද්, උත්තර ප්‍රදේශ් බටහිර බෙංගාලය, ඔඩීෂා, හිමාචල් යන ප්‍රාන්තවල සංක්‍රමනික කම්කරුවන් සිටින බව පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS