උන්ගෙන් අලුත් අවුරුදු පණිවුඩයක්

සුපුරුදු පරිදි අලුත් අවුරුදු පණිවුඩය ඉදිරිපත් කරමින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අවධාරණය කළේ න්‍යෂ්ටික අවිහරණය වෙනුවෙන් තමන් කැපැවී සිටින බවත්, කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට පියවර ගන්නා බවත්ය.
සෑම වසරකම උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ අලුත් අවුරුදු පණිවුඩය කෙරෙහි ලොව කාගේත් අවදානය යොමු වෙයි.
පසුගිය 2018 වසරේ, නායක කිම් ජොන් උන් සිය අලුත් අවුරුදු පණිවුඩයෙන් ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලට දෙහි කපමින් තර්ජනය කිරීමට ද අමතක නොකළේය.
කෙසේ නමුත් පසුගිය වසරේ දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන්ගේ මැදිහත් වීමෙන් උතුරු කොරියාව සහ දකුණු කොරියාව පමණක් නොව, උතුරු කොරියාව සහ ඇමෙරිකාව අතර ද යහපත් සබඳතා වර්ධනය වීමට පටන් ගැණින.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් සහ කිම් ජොන් උන් සිංගප්පූරුවේදී එකිනෙකා හමුවුණ අවස්ථාවේදී කිම් ජොන් උන් පොරොන්දු වූයේ ද න්‍යෂ්ටික අවිහරණය සිදු කරන බවටය.
එම අවස්ථාවේදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට පොරොන්දුවක් දුන්නේ උතුරු කොරියාව සැබැවින්ම සාමයට කැපවී, න්‍යෂ්ටික අවිහරණය සිදු කරන්නේ නම්, ඇමෙරිකාව උතුරු කොරියාවට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට පියවර ගන්නා බවය.
අලුත් අවුරුදු පණිවුඩය ඉදිරිපත් කරමින් උතුරු කොරියා නායක කිම් ජොන් උන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක් ද කළේය. තමන් පොරොන්දු වූ පරිදි න්‍යෂ්ටික අවිහරණය සිදු කරන බවත්, ඇමෙරිකාව ඔවුන් පොරොන්දු වූ පරිදි උතුරු කොරියාවට පැනැවූ සම්බාධක ඉවත් කිරීමට පියවර ගත යුතු බවත් උතුරු කොරියා නායකයා පෙන්වා දුන්නේය.
ඇමෙරිකාව එසේ නොකරන්නේ නම් හෝ ඇමෙරිකාව ඔවුන්ගේ පොරොන්දු කඩ කරන්නේ නම් හෝ ඒ සම්බන්ධයෙන් ඇමෙරිකාවට පසුතැවෙන්න සිදුවනු ඇති බව ද උතුරු කොරියා නායක කිම් ජොන් උන් අවධාරණය කළේය.
(ඒ.එෆ්.පී.)

