උතුරු කොරියාවේ මිසයිලයට ට්‍රම්ප්ගෙන් විරෝධයක්



උතුරු කොරියාව ඉකුත් දා දිගු දුර බැලැස්ටික මිසයිලයක් සාර්ථකව අත්හදා බැලුවේය. උතුරු කොරියා හමුදාව, එම අත්හදා බැලීම සිදුකළේ කොරියානු අර්ධද්වීපයේය. මිසයිල අත්හදා බැලීම තම රටට අනතුරක් වන අයුරින් සිදු කළේ යැයි ජපානය උතුරු කොරියාවට චෝදනා කර ඇත. මිසයිල අත්හදා බැලීමට එරෙහිව ජපානය සිය විරෝධය පළ කළ අතර, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද ජපානයට පක්ෂව මිසයිල අත්හදා බැලීම හෙළා දැක ඇතැයි වාර්තා වේ.

ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනපති ධුරයට පත්වීමෙන් පසු, උතුරු කොරියාව කළ පළමු මිසයිල අත්හදා බැලීම් මෙය විය. පසුගිය වසරේ ඇමෙරිකාවේ ඔබාමා පරිපාලනයේ උදහසට ලක්වෙමින් උතුරු කොරියාව දිගු දුර සහ කෙටි දුර මිසයිල රැසක් අත්හදා බැලුවේය. 
එම අවස්ථාවේදී ඔබාමා පරිපාලනය පමණක් නොව, එක්සත් ජාතීන්ගේ සංවිධානය ද උතුරු කොරියාවේ එම ‘හිතුවක්කාර’ මිසයිල අත්හදා බැලීමට විරෝධය පළ කළ අතර සම්බාධක පැනැවීමට පියවර ගත්තේය. 

ජනාධිපති ධුරයට පත්වීමට පෙර ඩොනල්ඞ් ට්‍රම්ප් කියා සිටියේ උතුරු කොරියාව සමඟ ‘නොගැටී’ පවතින අර්බුදකාරී තත්ත්වය සමථයකට පත් කර ගැනීමට උත්සාහ ගන්නා බවය. මේ වනවිට ජපාන අගමැති ෂෙන්සෝ අබේ සිටින්නේ ට්‍රම්ප් සමඟය. අගමැති අබේ බිරිය අකී අබේ සමඟ ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරට පැමිණියේ පසුගිය 10 වැනිදාය.

ධවල මන්දිරයේදී ට්‍රම්ප් සහ අබේ අතරේ සාකච්ඡා පැවැත්විණි. එහිදී ඇමෙරිකාව සහ ජපානය අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැණින. සබඳතා ශක්තිමත් කර ගැනිමේ ට්‍රම්ප්ගේ ආරාධනාවකට අබේ සහ ආර්යාව ද ට්‍රම්ප් සමඟ දිනක නිවාඩුවකට ෆ්ලොරීඩාවට පිටව ගියහ. ට්‍රම්ප් සහ ෂෙන්සෝ අබේ දෙදනා ගොල්ෆ් ක්‍රීඩාවක ද නියැලුණාහ. ඒ අතරතුරේ ට්‍රම්ප් බිරිය මෙලානියා සහ ජපාන අගමැති බිරිය අකී අබේ ෆ්ලොරීාඩවේ ඩෙල්රේහි පිහිටි ජපාන උද්භිත උද්‍යානය නැරැඹීමට දියහ.

බැලැස්ටික මිසයිලයක් යනු එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට විදිය හැකි මිසයිලයකි. අලුතින් අත්හදා බැලූ එම මිසයිලය සාර්ථකව අනුමාන කළ ඉලක්කයට ළඟා වුණැයි උතුරු කොරියානු හමුදාව පැවැසුවේය. මිසයිල අත්හදා බැලීමට එරෙහිව ඊට විරෝධය දක්වමින් ප්‍රකාශයක් නිකුත් කිරීමට ජපාන කැබිනට් මණ්ඩල ලේකම්  යොෂීදේ සූගා කටයුතු කර ඇති බව ද වාර්තා වේ. මීට අමතරව උතුරු කොරියාවේ අසල්වැසියා වන දකුණු කොරියාව ද එම මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇතැයි ද වාර්තා වේ. 

 

(රොයිටර්)

 


RECOMMEND POSTS