උතුරු කොරියාවෙන් ජපානය දෙසට මිසයිල



උතුරු කොරියාව දෙසින් ආ දිගු දුර මිසයිල දෙකක් ජපානයට ඔබ්බෙන් ජපන් මුහුදට පතිත විය.

එය උතුරු කොරියා හමුදාව කළ මිසයිල අත්හදා බැලීමක් යැයි අනුමාන කෙරේ. මිසයිල ජපන් මුහුදට පතිත වී ඇත්තේ, උතුරු කොරියා රජය, ඇමෙරිකාව සමඟ යළිත් වරක් න්‍යෂ්ටික සාකච්ඡා පැවැත්වීමට කැමැත්ත පළ කර පැය කීපයක් ගතවෙද්දීය.

උතුරු කොරියා නායක කිම් ජොන් උන්, සාම මාවතට පිවිස, න්‍යෂ්ටික අවිහරණයකට එකඟත්වය පළ කර ඇත. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී සාකච්ඡා න්‍යෂ්ටික අවිහරණ සාකච්ඡා ආරම්භ කළහ. කෙසේ නමුත් පසුගිය කාලයේ එම සාකච්ඡා බිඳ වැටුණේ දෙරට අතර පැවැති මත ගැටුම් හේතුවෙනි.

කෙසේ නමුත් උතුරු කොරියා නායක කිම් ජොන් උන් නිවේදනය කළේ නවතා දැමුණු සාකච්ඡා කඩිනමින් යළි ආරම්භ කරන බවත් කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට පියවර ගන්නා බවත්ය.

ඇමෙරිකාව සමඟ සාකච්ඡා පැවැත්වෙද්දී පවා, උතුරු කොරියාව කෙටි දුර මිසයිල අත්හදා බැලුවේය. ඊට ඇමෙරිකා ජනපති ට්‍රම්ප්ගෙන් කිසිදු විරෝධයක් එල්ල නොවිණි. උතුරු කොරියාව කියා සිටියේ රටේ ආරක්ෂාව වෙනුවෙන් එම මිසයිල අත්හදා බැලීම කළ බවය. කෙසේ නමුත් මෙම දිගු දුර මිසයිල අත්හදා බැලීම් කළේ උතුරු කොරියාව බව තහවුරු වුවහොත් එය බරපතල අර්බුදයකට හේතුවක් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ කියති.

ජපානයේ ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින්, මිසයිල අත්හදා බැලුවේ උතුරු කොරියාව යැයි තහවුරු වුවහොත්, උතුරු කොරියාවට විශාල අවාසියක් වනු ඇති බව ජපාන අගමැති ෂෙන්සෝ අබේ පෙන්වා දෙයි. හම මිසයිල අත්හදා බැලීම කිසිසේත් අනුමත කළ නොහැකි බව අගමැති අබේ වැඩිදුරටත් කියා සිටී.

ෂෙන් සෝ අබේ පසුගිය දා ඇමෙරිකාවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වූ අවස්ථාවේදී, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඇතුළු සෙසු ලෝක නායකයන්ට කියා සිටියේ, තමන් උතුරු නොරියා නායක කිම් ජොන් උන් මුහුණට මුහුණ හමුවී, පවතින අර්බුද විසඳා ගන්නා බවය. මෙම දිගු දුර මිසයිල අත්හදා බැලීමත් සමඟ එම හමුව පැවැත්වීම සැක සහිත යැයි විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ටෝකියෝහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS