උතුරු කොරියාව තවත් මිසයිලයක් යවයි



පහර දී, ජපාන දූපත් මුහුදේ ගිල්වා දමනවා යැයි තර්ජනය කරමින්, උතුරු කොරියාව ජපානය දෙසට තවත් මිසයිලයක් එල්ල කළේය.

උතුරු කොරියාව එම මිසයිලය එල්ල කළේ ජපානය බිය ගැන්වීමේ අරමුණින් පමණක් නොව, මිසයිලය අත්හදා බැලීමේ අරමුණින් යැයි දකුණු කොරියානු යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

උතුරු කොරියාවෙන් නිකුත් වුණු එම මිසයිලය, මිනිත්තු 20 ක කාලයක් ඇතුළත කිලෝ මීටර් 2,000 ක් පමණ දුරක් ගමන් කරමින්, ජපානයේ  හොකයිඩෝ දූපත පසු කරමින් පැසිෆික් සාගරයට පතිත විය.

මිසයිලය උතුරු කොරියාවේ යොංග්යැංග් නුවරින් නිකුත් වීමත් සමඟ ජපාන හමුදාව ඊට මුහුණදීමට සූදානම් විය. ප්‍රති මිසයිල නාශක පද්ධති ක්‍රියාවට නැංවීය. ජපාන රජය ජපන් වැසියන්ට අනතුරු ඇඟ වූ අතර අනතුරු ඇඟවීමේ සයිරන් නළා නාද කෙරුණි.

මිසයිලයේ ගමන් මඟ තහවුරු කර ගැනීමෙන් පසු, ජපාන රජය හොකයිඩෝ දූපත් වැසියන්ට විශේෂ අනතුරු ඇඟවීමක් කළේය. මිසයිලය දූපතට පතිත වූයේ නම්, එය පහර දී උඩු ගුවනේදී පුපුරුවා හැරීමට ජපාන හමුදාව සීරුවෙන් සිටියේය. වාසනාවකට මිසයිලය පතිත වූයේ හොකයිඩෝ ආසන්නයේ මුහුදටය. මිසයිලයෙන් කිසිවකුටවත් අනතුරක් සිදු නොවිණි.

මීට පෙර ද උතුරු කොරියාව අත්හදා බැලූ මිසයිලයක් ජපාන දූපත් පසුකොට මූදට පතිත විය. උතුරු කොරියාව ඊයේ එම මිසයිල අත්හදා බැලීම සිදු කළේ පහර දී ජපාන දූපත් මුහුදේ ගිල්වනවා යැයි තර්ජනය කරමින් පැය කීපයක් ගතවෙද්දීය.

‘ජපානය අප අසල්වැසියා ලෙස තවදුරටත් සිටිනු දැකීමට අපේ කැමැත්තක් නැහැ. ජපාන දූපත් මූදේ ගිල්වීමට අපි න්‍යෂ්ටික බෝම්බ යොදා ගන්නවා’ යැයි ද උතුරු කොරියානු රජය එම මිසයිල අත්හදා බැලීම සිදු කිරීමට පැය කිහිපයකට පෙර නිකුත් කළ නිවේදනයක සඳහන් විය.
උතුරු කොරියාව ජපානයට තර්ජනය කළේ ජපානයත් ඇමෙරිකාවත් එක් වී, එක්සත් ජාතීන්ට බලකරමින්, උතුරු කොරියාවට නව සම්බාධක පැනැවීමට කටයුතු කිරීමත් සමඟය.

ඇමෙරිකාව සහ ජපානය උතුරු කොරියාවට නව සම්බාධක පැනැවීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය බල කළේ උතුරු කොරියාවේ හිතුවක්කාර න්‍යෂ්ටික වැඩසටහන සහ මිසයිල වැඩසටහන මුල්කොට ගනිමිනි.

(ඒ.එෆ්.පී./ඬේලිමේල්)


RECOMMEND POSTS