උතුරු කොරියාව එන්නත් එපා කියයි



ලෝක සෞඛ්‍ය සංවිධානය, ඔවුන්ගේ 'කොවැක්ස්' එන්නත්කරණ වැඩසටහන යටතේ උතුරු කොරියාවට යැවූ 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් මිලියන 3 ක ප්‍රමාණය උතුරු කොරියාව ප්‍රතික්ෂේප කර තිබේ.

එන්නත් ප්‍රතික්ෂේප කරමින්, උතුරු කොරියාව ලෝක සෞඛ්‍ය සංවිධානයට පවසා ඇත්තේ, 'කොවිඩ් 19' වසංගතයෙන් දරුණු ලෙස බැටකන රටවල් බොහොමයක් ඇති බැවින්, තමන්ට වඩා මේ අවස්ථාවේදී මෙම එන්නත් එවැනි රටවලට බෙදා දීම සුදුසු බවය.

ලෝක සෞඛ්‍ය සංවිධානය, ඔවුන්ගේ 'කොවැක්ස්' එන්නත්කරණ වැඩසටහන ක්‍රියාවට නංවා ඇත්තේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් 'යුනිසෙෆ්' සංවිධානයේ ද සහාය ඇතිවය. එන්නත් බෙදා දීම සිදු කරන්නේ 'යුනිසෙෆ්' සංවිධානයයි.

යුනිසෙෆ් සංවිධානය උතුරු කොරියාවට බෙදා දීමට සූදානම් වූයේ චීනයේ නිෂ්පාදිත 'සිනොවැක් බියෝටෙක්' එන්නත් මාත්‍රා මිලියන 3 ක ප්‍රමාණයකි.

මේ වනවිට ඇතැම් බටහිර රටවල් පමණක් නොව, ඊශ්‍රායලය ද ඔවුන්ගේ වැසියන්ට 'කොවිඩ් 19' තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීම සිදු කරයි. ඒ ප්‍රවර්ධක එන්නතක් ලෙසය.

තවමත් අප්‍රිකා රටවල් සහ මැදපෙරදිග කලාපීය රටවලට එන්නත් ලැබී ඇත්තේ සීමිත ප්‍රමාණයක් පමණි. එම රටවලට එන්නත් ලැබී ඇත්තේ 'කොවැක්ස්' පහසුකම යටතේ පමණි.

තෙවැනි මාත්‍රාවක් දීමට පෙර, ලොව සෑම කෙනකුටම පළමු සහ දෙවැනි නියමිත එන්නත් මාත්‍රා ලබා දීම කළ යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සෑම රටකින් ම ඉල්ලීමක් කර තිබේ.

'තමන්ට වඩා එන්නත් අවශ්‍ය රටවලට තම එන්නත් තොගය පරිත්‍යාග කරනවා' යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ එවැනි තත්ත්වයක් යටතේය. උතුරු කොරියාව ගත් තීරණය ප්‍රසංශනීය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.

'හිතුවක්කාර' න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන්, උතුරු කොරියාවට ඇමෙරිකාව පමණක් නොව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ද සම්බාධක පනවා තිබේ. එහෙයින්, උතුරු කොරියාව ලොවෙන් හුදෙකලා වී සිටී.

සම්බාධක හමුවේ වුවත්, උතුරු කොරියාව අසල්වැසි චීනය සමඟ සමීප සම්බන්ධකම් පවත්වයි. උතුරු කොරියාවට සහාය පළ කරන එකම රට චීනයයි. 'කොවිඩ් 19' වසංගතය ආරම්භ වූයේ 2019 දෙසැම්බරයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරිනි. 2020 වසරේ චීනයේ සෙසු පළාත්වලට වයිරසය ව්‍යාප්ත වෙද්දී, උතුරු කොරියාව චීනය සමඟ සිය දේශසීමා වසා දැම්මේය.

ඊට අමතරව, උතුරු කොරියාවේ සිටි විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් දින 21 ක් නිරෝධායනයට යොමු කර පසුව ඔවුන් රටින් පිටත් කර හැරියේය. උතුරු කොරියා දකුණු කොරියා දේශසීමාවේ ආරක්ෂාව තර කෙරුණු අතර දේශසීමා හරහා උතුරු කොරියාවට පැමිණෙන ඕනෑම අයකුට වෙඩි තැබීමට දේශසීමා සොල්දාදුවන්ට උතුරු කොරියා නායක කිම් ජොන් උන් අණ කළේය.

දේශසීමා හරහා උතුරු කොරියාවට පැමිණීමට උත්සාහ කළ දෙදෙනකු වෙඩි තබා මරා දැමීමටත්, පසුව ඔවුන්ගේ සිරුරු පුළුස්සා දැමීමට පවා උතුරු කොරියාව කටයුතු කළ බව වාර්තා විය.

මේ වනවිටත් උතුරු කොරියාවෙන් කිසිදු 'කොවිඩ් 19' ආසාදිතයකු වාර්තා වන්නේ නැත. මේ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද තහවුරු කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS